නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර

2022 අගෝස්තු කලාපය

අන්තිම පත්‍රය

නව දළුව ඇහැරුනා, මතුවෙමින් බිදෙන් බිද.
රතු දල්ල බැබලුනා, නලියමින් මද පවන.
වෙනස් කර පැහැය එය, එළඹුනා තුරුණු විය,
කොල පාට තනි කොලය අතු අගෙහි ලෙල දුනිය.

මියැදෙනා තුරාවට අත් නොහැර මිහි මඩල,
රස පොළොව නහර වැල් දිගේ යවමින් අහර,
පෝෂනය ඇරඹුවා, පොවා කිරි තුඩින් තන,
මිහි මඩළ, මහ පොළොව වීය නිති මගෙ මෑණි.

පුතු රකින පියෙකු සේ මා වටා දැවටෙමින්,
තේජසද පතුරමින්, ලහිරු රැස් නහවමින්,
පෝෂනය ඇරඹුවා ජීව ගුණයද දෙමින්,
බෝ තෙදැති හිරු දෙවියො වීය මට පියාණන්.

සුළග හා මුසු වෙමින්, තත බිදින වෙන නදින්,
හීන් ස්වරයන් යොදා රගන නළගන ලෙසින්,
එකින් එක වැහි බිංදු ආදරෙන් නහවමින්,
ගත නිවන වැස්ස විය, සෙනෙහෙබර යෙහෙළි මා.

වස්සාන, ගිම්හාන, සරත් කල් ගෙවී ගොස්
ගත පෙළන, රුදු අදුරු, ශීතයද එළඹුනා.
පැසී ගිය කෙස් ලෙසින් කොල පැහැය වියැකුනා.
පරඩලක් සේ ලෙලෙන අවසාන පත ඉදින්,
ගිලිහුනා නටු අගින්,
නියත, අනියත දමින්.

මෙල්බන් නුවර ශීත ඍතුවේදී
View Poem