සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය

2022 පෙබරවාරි කලාපය

අංගොඩ අඳුරු අහස යට...

ඈ ඇවිත් හිනැහෙමින් යකඩ ඇඳ ගාව...
මැදියමේ හීන මැද සනසවයි මාව...
හිත් ලෙනේ දෙගුම් දෙයි පෙර මතක රාව...
අදත් හිත යයි පුරුදු පෙම් චාරිකාව...

මට තියා ලිපියකුත් තනි රූල් පොතක...
කිඳා බැස තිබිණි ඇගෙ පපුවෙ මස සැතක...
බැන්දාට ඇඳ වටා හතර කොන් ගතක...
ලණුවකට පුලුවන් ද? බඳින්නට මතක...

මගෙ අතේ ඇගෙ හුස්ම නතර වුණු විස්තර...
මතක් කර කර හලපු උණු කඳුලු කප්පර...
ඇගේ ලේ පිහපු හැටි පොඟා ඇදි වස්තර...
මැවි මැවී තාම මට පේනවා දොස්තර...

බොන බෙහෙත් පෙති වලට බඩ පපුව දනවා...
හැමදාම රෑ වෙද්දි ඇය මෙහෙට එනවා...
නලල සිප මෙලෙක් අත් වලින් මට දෙනවා...
ඒ නිසා පෙති අහුරු ඔක්කෝම බොනවා...

හඳ එළිය වැටෙනකොට කොටු කරපු ඇඳ දිගේ...
මට මතක් වෙන්නේ ම පුංචි සඳගන මගේ...
සොහොනටත් ලස්සනක් කිරි ගරුඬ කොත ඇගේ...
මේ අඳුරු අහස මත පායාපු හඳ වගේ...
View Poem