ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හෙවණැල්ල

හෙවණැල්ල

ප්‍රියංගිකා බටගොඩ
2024-May

සිත තුල පිරිලා තනිකම අපි දෙන්නට අපිම මිසක්
වැතිරිල උනුහුමෙ විඳපන් ඇස් දැල්වෙද මගට කෙනෙක්
සහලොල ගනඳුර එන්නට කොහොම නමුත් ගෙවෙයි කලක්
කලබල වෙන්නේ කුමටද විවේකයෙන් සිටිමු පැයක්…

විඳවල කෙනෙහිලි මගහැර සැනසෙන්නට සුමුදු රැයක්
තවරල සියොළඟ මිහිමව රමණය කර දවසෙ නිමක්
කියවල මුවමත කෙඳිරිලි සංසාරෙම උරුම සොවක්
උහුලල දෙසවන යොමපන් දැනෙනවාද ගැහැණු දුකක්…..

නැවතිල ආයෙත් නොඑන්න වැසිය යුතුයි දොරටු සයක්
මතුවෙල පීනත් දෙගොඩට ගිලෙනවමයි මෙහෙම දොසක්
වදහල බුදු බණ තැවරෙන කැනිමඩලම බිඳින තැතක්
කොනහල වඩුරුව ගනිතත් තණ්හාවම සිහින දැළක්…..