හුස්ම පොද

දීපා ද සිල්වා - ලන්ඩනය
දීපා ද සිල්වා - ලන්ඩනය
2021-November

කෙතරම් සිහින තිබුනද හෙට දවස ගැන
සිතුවම් කොතෙක් මැව්වද දිග පළල දැන
මනසින් ඇවිද්දද සුසිනිදු පලස මැන
කවුරු දෙයිද අද ඒ සිහිනයට පණ

සුන්දර දිවියෙ අරුමැසිකම් මැව්ව විනා
මතකක් නොමැත හීනෙන්වත් ඔබව වනා
අද තනි නොතනියට ඇවිදින් පාන සිනා
මෙතරම් ලෙන්ගතුව හැගුනේ කිමද මනා

පාලුයි හදට පාලුයි බැහැ දරන්නට
දැල්වෙන පහන් නොමැතිය තනි රකින්නට
වියකුණු සිනහ මුව සකසා තබන්නට
කිසිවෙකුටවත් බැහැ ලං වී සිටින්නට

කියාගන්න බැරි වුනු දාහක් දේවල්
හිර වී තිබිණි දින ගනිමින් රෑ දාවල්
නොකියම යන්න වුණි තිබුණෙන් බාදාවල්
මරනෙත් එක්ක කරනට බැහැ නොවැ කේවල්

ලස්සන දිළිසෙනා වටිනා පෙට්ටි ගෙන
අගනා සළු පිළිද අන්දා සිරිය දෙන
ඇත් දල මල් පිරුණු පලසක් මැදට වුන
කිසිවෙක් නොමැත මෙහි දී මට මුණගැසුන

දිළිඳු ද පොහොසත්ද කිසි වෙනසක් නැත්තේ
කුලයක් නොදැන සියලුම දෙන එක පැත්තේ
එකිනෙක පරදවන පුරසාරම් සත්තේ
නොඇසෙන එකත් ලොකු සැනසීමකි ඇත්තේ

දිව රෑ නැතිව දුක් විඳ හරි හම්බ කලත්
අනෙකා පාග ගෙන කෙතරම් උඩට ගියත්
අහසේ වදින දිව මාලිග ඉදි කෙරුවත්
හුස්ම පොද තරම් නොවටියි අද මොනවත්