ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමනල සඳෙස -14

සමනල සඳෙස -14

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2024-July

දත යුතු කරුණු ගොමුව – 11
මහා එළිය

262. බෙලිහුල් කුමාරිගෙ හැඩ රුව බලා මන
සිරිමල් වියේ කැකුළකි බඳ සලා යන
සමනල් කුමර නොකියා හද තලා වන
සුරතල් කළණි අමතක වි ද ගලා යන

263. දැන සිටි යුතු දෙයකි මෙය සමනල නුඹ ද
පින අපගේ ය ඇය දැය පණ නල නිඹ ද
දන අප වෙයි රකින කොමළගනක අඹ ද
තැන-තැන දුවන වෙසගෙන මත-ගත ළඹ ද

264. උපදින දියර බිදු කළුගල වනාන් – තරේ
“කෙහෙල්ගමුවෙ ඔය” විලසට හෙමින් -සැරේ
මස්කෙළි ඔයත් සමගින් විත් සරින් – සරේ
කළණි ගඟ කොමළිගෙ හද තුරුළෙ පිරේ

265. යටියන්තොටින් වී ඔය වැල්ලෙ දි ම රුවන්
ගුරුගොඩ ඔයත් එක් වෙයි සිප පියවි නුවන්
සීතා පෙම්බරිය දිය කිදුරියක වෙසින්
සැතපෙයි අවිස්සාවෙල්ලෙන් ළයෙහි තොසින්

266. මහා එළිය – මහා තැන්න හා හෝටන් – තැන්න
එකී නාම ගත් තැන වෙයි කළණිගෙ තෝ-තැන්න
මහවැලි – කැළණි ද වළවේ තුන් ගංගා තැන්න
පැන නැගි තැන රාම – රාවණා යුද කළ තැන්න

267. මහා එළියෙ සිට ගලමින් දෙගොඩ තලා
කැළණි ගග හඩයි ඉරමින් දෙවුර පලා
කෙත්වතු සිසිල සදමින් පිණි දිය ද සලා
දිව යයි අගනුවර දියඹට බසිනු බලා

268. කළබල නොකර සමනල, රස විද රගන
කැළණි පුරවරයෙ සොබමන් රති අගන
විද – විද පහස තැන – තැන ගොස් යළි මගන
දැක නුඹ නෙතින් පවසන් ඇගෙ තතු කගන

සමනලයා දුටු නදී කොමලිය-3

කැළණි සුරවරුවරිය 17

269. උමතු ව දග දමින් මැය – පල්ලම් බසින
උඩගු ව සිරස සිට සමනල කදු මුදුන
සුහද ව පැමිණ කදු පාමුල ඇද හැලෙන
නිබඳ ව ඇසෙයි හඩ හද බැද නුඹ හඩන

270. නව-පිලි වෙළා එ ද සලෙලුන් ඉවුරු සරා
විම-සිලි කළා වෙ ද සුරගුන් නමට අරා
ඇවි-ටිලි කළා වෙ ද අගනුන් මතට නුරා
රැව-ටිලි කළා වෙ ද සොබමන් හදට හොරා

271. ගමනට ලලිත සලෙලුන් මත් කරන බස
කසු-කුසු බරිත විද මල්සර පහස විස
විමසිලි සලිත වී සුරලියො බිමට බැස
රැකවල සදත ගෙන මීමැසි බඹර වෙස

272. කොතරම් කම්කටොලු බාධක එරෙහි වුණත්
හිස් ඔසවා හිඳී කළු ගල් නොවී පහත්
වෛරෙන් පළි ගැනීමට උහු සිත ඇදුණත්
වළකයි නුඹ එ ගිනි පිනිදිය ඉස උහුටත්

273. දිනෙන් – දින ම පැහැබර වන තුරුණු කයේ
ජවෙන් ලැබෙන සිරිගරකම තව ම තියේ
කවෙන් පිපෙන මල් කුමුදක් පැහෙන රැයේ
ලෙවන් කවුද නොරැකෙන නුඹෙ පිනෙන් දියේ

274. යන මග නුඹ ඇදී වග – වළසුන් ගහන
සැතපී නෙක වණින් මිණි කැට ඇත දිලෙන
එක් වෙන රොන් මඩට සුදු පෙණ බුබුලු දෙන
තරමට අගය නැත නුඹටත් අගය වෙන

275. දෙවගන ලෙසින් බැස මේ කුළුණින් පැමිණ
සුරඟන ලෙසින් බැස හදවත් බැද පෙමින
නළගන ලෙසින් බැස නෙත සිත ගෙන රසින
පුරගන ලෙසින් බැස යන්නෙ ද ලෙස රැජිණ

276. අතරින් – පතර වීමෙන් වගවළට ගැතී
රහසින් රිංගමින් සිතිවිලි හදක නැතී
සැණෙකින් විසරු වී මදකින් නිවී එතී
රහසින් කියයි නුඹෙ ළග ඇති ගෑනු ගතී

277. සිරි පා පුරෙන් බැස ගෙන ආ කොමළ නදී
වාගේ නුඹත් සැගවෙනව ද සයුරෙ කිදී
වැද සිරිපතුල කැළණියෙ පුරවරට ඇදී
පිනි පා කරනු බුදු සිරි පා යළිදු සැදී

278. කදු – පල්ලම්-ගොඩැලි-පොල්-කෙත්-වතු හේන
වැදු මව් වුව ද නැහැ සිතුණත් ගෙට ගේන
බිඳ දා දස අතට විහිදන දිය දෝන
සුරවිරුවරියක සෙ සිතුණැයි මට පේන

(මතු සම්බන්ධයි.)

2024.07.01