සත්ව කරුණාව

ලූෂන් බුලත්සිංහල
ලූෂන් බුලත්සිංහල
2021-July

නොදැනී මවගේ ඇකයෙන් වැටුණද
දෝණි අකීකරු තහංචි පැන්නද
ලෙන් පැටික්කී බිමට වැටීලා
අතරමංවූ දා පටන්
පාන්කඩ තිරෙන් කිරි බිවුවා උරා
දුව පැන්නා පුංචි දැල් කූඩුව පුරා
ටීනු කියා හුරතලේට නම වැටුණා
උස් මහත් වෙලා යොවුන් වියටත්
පත්වුණා ලේනී,
එත් හරි පුදුමයි
අත හැරියත් සේපාලිකා ගහට තියා
කූඩුව හොයන් ගෙදරමයි එන්නේ
මේ හුරතල් ටීනූ.
මේ අල්ලපනල්ලේ
දඩාවතේ ගිය බැළලියක්
කිරි කැටියන් තිදෙනෙකු වදා
ගෙට රිංගයි බලහත්කාරයෙන්
හිසට හෙවනක් හොයන්
කොහොමද එළවන්නේ
සත්ව කරුණාව වැඩි හින්දා
එතැන් පටන්
දඩයම් ලෝලී හොර බැළලී
නිතරම කුරුමාණමේ
නිදහසේ උන් හුරතල් ලේනී
බයේ ගැහි ගැහී කූඩුවේ
හිතට නිවනක් නෑ ඉතින්
සත්ව කරුණාව හින්දා
දවසක් උදාවුණා – අව්රැල්ල හරි පැහැබරයි
අව්ව තපින්නට ලේනීගේ – හිත හරිම කලබලයි
සේපාලිකා ගහ හෙවනේ – අව්ව තපිනව, ටීනු කූඩුවේ
පුංචි පැටික්කන් තුරුලු කරන්
ගෙයි අගුවේ කිරි දෙනවා බැළළී
සඳලු තලේ මුර සේවයේ – මං ඉන්නේ විපරමින්
මේ අතරේ ටීනු කෙරේ ලෝබයෙන්
ලේන් පෙම්වතෙක් ඇවිදින්
දුවනවා පනිනවා ටිං ටිං ගාමින්
පුංචි කූඩුව වටේ – ඉවසුම් නැති සෙනෙහසින්
උන්මාද චිත්‍රා හොයන් දීඝ ගාමිණී ඇවිදින්
පෙම්වතුන්ගේ කලබලෙන්
ඇහැරී බැලුවා හදිසියෙන් බැළලී
විසිකර දමා කිරි පැටික්කන් – මෙන්න ඇදෙනවා
කොටි දෙනක් සේ කුරුමානම් අල්ලමින්
බියපත් සිත මගේ මුසපත් වෙයි
සිදුවන්නට යන විනාසය දකිමින්
සූ සූ ගා අත ගැසුවත් හඬගා
සතේකටවත් මායිම් නෑ බැළලී
පෙරටම පෙරටම ඇදෙනවා දඩයමට ලෝබයෙන්
කෝපයේ ගිනි පුලිඟුව
මොලවයි මා සිත සුසම්ලමින්
දිවි රකින චේතනාවෙන් සුරතල් ලේනුන්ගේ
වට පිට බලමි එවිගස – බරැති ලී දණ්ඩකි අත ළඟ
පළවා හරින්නට බැළලිය – බියපත් කර
දමා ගසමි සඳළුතලේ සිට
ලී දණ්ඩ බැළලිය අසලටම
අහෝ මොන පවකින්ද – පතිතවෙයි හෙනයක් සේ
ලී දණ්ඩ බැළලිගේ හිස මත
කොහි සිට ආවාද මේ මරු පහර
විලාප දී – මර හඬ නඟා අඬමින් – උඩ පනී බැළලී
මරු විකලේ ඒ මේ අත දුවයි සිහිමුලාවී
මවගේ විලාපෙන් බියපත් පැටික්කෝ
උනුන්ට ගුලිවෙති සංත්‍රාසයෙන්
කෝප ගිනි හීතලවී – ඇවිලෙයි සියොළඟ මගේ
ලැව් ගින්න සංවේගයේ – සත්ව හිංසාවේ
අහෝ! නිර්මාංශ ආහර බුදිමින්
නොමරා හිංසාකාරී මැසි මදුරුවන් පවා
පුරනා මහා සත්ව කරුණාවට මගේ
කුමන නම් විපතක්ද මේ සිදුවුණේ
මරහඬ දී බිම පෙරලුන බැළලී
නිසල වූවා සැණෙකින්
ලේන් පෙම්වතා ද පැන ගිහින්
තවම කූඩුවේ ටීනු බයේ ගැහෙමින්
ගැහි ගැහී කකියන හදවතින් – බැසයමි සඳැල්ලෙන්
ලංවෙමි බැළලිය නිසලව නිසලව වැටී සිටිනා තැනට
අප්‍රාණික සිරුරින් වැතිරී
අසරණ බැල්මක් හෙළයි මා දෙස බැළලී
“අනේ මා මරන්නට එපා” කියන්නා සේ
පොළොව පැලී එතැනම එකවර මා
නිරයට ඇදගන්නාසේ දැනේ
ඊට පෙර අත දිගුකරමි – සමාකර ගන්නට හිස අතගා
එහෙත් බියපත් බැළලිය පැනයයි
වෙලෙවි සිරුරින් ඈතට
මිය යාද බැළලිය පසු විපාක දී මරු පහරේ
දෙගිඩියාව නලියයි හිත පාර පාරා
දවසින් දවස ගෙවුණා – අනතුරක් නොවී බැළලියට
එහෙත් නොසිතූ ලෙසින් – ලෙඩින් වැටුණා සුරතල් ලේනී
නොදනිමි මර බියෙන් ලෙඩවීද ටීනූ
කුසගින්නේ මිය ගියා ලේනී පසුදා උදෑසන
දුරින් සිට තම ගොදුර දෙස
බලා සිටියා බැළලී සෝකයෙන්
අවමඟුල සිදුකරද්දී නිවැසියන්
බැළලිය දකිනා මොහොතක් ගානේ
වැලපෙයි සිත මගේ
මා අතින් වූ ප්‍රාණ වධය සිහිවී
“චේතනාහං භික්කවේ කම්මං වදාමී ”
සැනසිලි දේද සිතා මේ අයුරින්
දඩයම් බැළලිය මරා දමන සිත් – නැත උපන්නේ මා තුළ
සුරතල් ලේනුන්ගේ දිවි රකින චේතනාව මිස
එහෙත් රැව් පිළිරැව් දෙයි – බැළලිය නැඟූ මර හඬ
මැකී යා ද ඒ හඬ මනසින් – මගේ දිවි ඇති තුරා
සියල් සතුන්ගේ මරබිය මේ යැයි කියාදුන්.

16/06/2021