සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2022 ජුනි කලාපය

වෙන්ව යාම

පෙරඹ'ර සියල් තරු කැට
නිවී මිලානව යන
මොහොතක ,
පෙනේ
බොඳව බොර වූ මා දෑසට
බැසයන්නට මැලි
තරු කැට යුවළක්
ළංව සිටිනු එකිනෙකා වෙත
බැඳී සිටිනා කලෙක මෙන්
උතුරා ගලන සෙනෙහසින් මත්ව

අනවරතයෙන්
මිහිදුම කඩා වැටෙන
ඒ සීත හිමිදිරියේ
බැලූවෙමි එදෙස
වරින් වර මම
එබී දොර කවුළුවෙන්
මැඩී අපමණ කුහුලින්

එවිට දුටුවෙමි
දැල්වෙන'යුරු ඒ තරුකැට
මහත් උද්‍යෝගයෙන්
රැය නිමා නොවු කලෙක මෙන්

ඉවත ගෙන නෙත් මොහොතකට
යළිත් එබී බැලූ සඳ ඒ දෙස
අහෝ ඒ තරුකැට දෙක
මදක් නිවී ගොස් නිසලවී ඇත
එවිට දැනුණේ මට
වදනින් පැවසිය නොහැකි
නුහුරු සංතාපයක්ම ය.

බලා සිටින විට
තව තවත් ඒ දෙස
ඒ කුඩා තරු එළිය
ක්ෂුද්‍ර වූ තිතක් ව
මා දෑස් මානයෙන්
නොපෙනී යන්නට විය
සොයාගනු පිණිස
වෙහෙසී, දෑස් ඉගිල්ලූවද
දැකගත නොහැකි වුණි
අරුණෝදට පත් අහස් ගැබෙහි
කොතැනක හෝ එය

එහෙත් බොහෝ දුර්වලව
කණාමැදිරි එළි තිතක් ව
පෙනෙන නොපෙනෙන තරමට
මා පියවි දෑසට
හුදෙකලාවෙ හිඳී නිහඬව
මදක් ලොකු ඒ තරුකැටය තවම
බැස නොයා ඉවතට

තවත් සුළු මොහොතකින්
ප්‍රථම හිරු කිරණේම
සැඟවී යනු ඇත එය ද

දෑසින් නවතාගන්නට
නොහැකි බව දැන
උකටලීව ගිය සිතින්
ඉවත බැලුවෙමි මම
View Poem