ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වෙඩි කෑ මගේ කමිසය

වෙඩි කෑ මගේ කමිසය

සුනිල් ලීලානන්ද පෙරේරා - පැල්මඩුල්ල
2022-January

සීතල සමණොලේ මහ මූකලන් මැද
සරමක් බැනියමක් නෑ, අමුඩයක් ඇඳ
බත් පත බෙදා මා අත ගරුසරින් පුද
වාඩියෙ උයපු ආතා දෙව් ලොවේ අද

වටාපොතක් වැනි රැවුලක් වවාගෙන
මුරුතැන් ඇලෙන් දිය නා කෙහෙ විදාගෙන.
ලහින් ගියත් රන් ලයිටේ සුවඳ එන
ආතා මිසක අදටත් නොදනිමිය නම

ඇත්තොට දෙහන්කරගෙන වැහි වහින්නේ
ගිනි ගොඩ පමණි පය පාමුල තැවෙන්නේ
රෑ මැදියමේ උලලේනිය හඬන්නේ
“කහට අබින්දක් දෙංඤං අහන්නේ

උන්දැම පෙරන් ගෑ පොල් කට්ට මනා
කහට ගලබොඩින් ආරොං කඩෙන් ගෙනා
හකුරු ඇස්ස දෑතින් දෙක තුනට කඩා
ඇනබාගනි, මැහි පාමුල නොකර කතා

දවසක් බොහොම නිහඬයි රෑ මැදියාමේ
උන්දෑ මගේ කණලඟ කනුකුනු ගෑවේ
“ඔන්නොහෙ ඉම්මු නාකද ඉන්නා තාලේ
යන්නම ඕනිමද ඔය ලොකු ඉස්කෝලේ”

වහිනදාට පැල්බැඳගෙන වහින්නේ
නියං කලට පැලි වළනුත් පැලෙන්නේ
බත් ඇති තැනයි කොස් මුට්ටිත් ඉදෙන්නේ
ඔයවගෙ බණ පදයි උන්දෑ දෙසන්නේ

දුරෙක්කන්ද ගම, බක් මහටයි යන්නේ
සුදු කොටු සරම සුදු සාලුව උරලන්නේ
ලිග් ගල් තුනට වැදලයි පිටවී යන්නේ
ඉහතෙල් ඇඹුල් ගාලයි ආපහු එන්නේ

මල්වල පිරිවෙනේ මා අකුරට යන කාලේ
පරණ කමිසයක් නුඹ ඉල්ලපු ලීලේ
ඒ කමිසය පිටින් නුඹ පුතු වෙඩි කෑවේ
ගිලීමලේ මැම්බර පඩි නැති කාලේ

“මහත්තයා දැකලා මං දුව ආවේ”
මගෙ කමිසේ ඇඳි මිනිහා මට කීවේ
මා පටවලා දළු ලොරියට හැන්දෑවේ
ඉන්පසු කිසිදාක නෑ ඔහු හමුවූවේ

හැට්ට කටුවෙ ඇමිනූ බාටා පතුරු
මිරිවැඩි සඟල පයලූ පිංවත් කුමරු
දෙකකුල් පුරා කූඩැල්ලෝ ලේ පුපුරු
මුහුනේ රැවුල් කොට තැන තැන තව ඉතුරු

කූද්දාගෙන ගොහින් දවසක් රෑ ජාමේ
“එංඤං” කීවට නෑ පැදුරට ආවේ
පැටවුන් රෑ බතට රොටි ඉරුවකි කෑවේ
කට පුංචාගෙ කට සැරටයි බඩ දෑවේ

“පැටවුන් තනිවෙලා මං එන් නෑ ආයේ ”
තොල්පොට නෙමෙයි දෑසයි ඒ ටික කීවේ
වාඩියෙ ගිණිමැලේ නෑ, රෑ දළු ලෑවේ
ඒ රෑ මමයි, උලලේනිට දුක කීවේ