ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැරදුණේ මට අම්මේ

වැරදුණේ මට අම්මේ

ජානකී එදිරිසිංහ
2023-January

සිපිරි ගෙයි සීතලේ බිම ඉඳ දුර බලන කොට කලුවරේ
බිත්ති අතරින් රිංගලා මම එන්නේ ඉන්නට උණුහුමේ
උඹේ ඇකයේ ඉඳන් තරුකැට ගණන් කෙරුවා පෙනෙන්නේ
සුදු කමිස දා අතින් අල්ලන් එක්ක ගිය හැටි මැවෙන්නේ

ගුරු දෙපා ලඟ දණ ඔබා මා
භාර දුන් දා පාසලේ
පුතේ හොඳ මිනිහෙක් වෙයන් කී
හීන් හඬ තාමත් ඇසේ

හතේ පන්තියේ ගණන් පාඩම කට්ටි පැනලයි බීඩි බීවේ
අමරේ එක්කලා ගහට නැගලා ගුණේ මාමගේ කිතුල බෑවේ
තරහ අරගෙන මූණ කලු කර උඹයි මගෙ
කම්මුලට ගැහුවේ
මෙහෙම දවසක් ඉවෙන් දැනිලද එදා උඹ
රෑ පුරා ඇඬුවේ

හෙටත් උඹ එයි බතුත් අරගෙන යකඩ වැට අද්දරට උදයේ
මතක් වෙනකොට උඹෙ මූණ මගෙ පපුව
ඉරි තලනවා වාගේ
නාඬා ඉඳපන් උඹෙ වරද නෑ මමයි
හිතුවක්කාර වූයේ
දේවදත්තට පාර කියනට බුදුන්ටත්
බැරි වුණා අම්මේ