නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර

2024 අප්‍රේල් කලාපය

වල මත සාජ්ජය

වල මත සාජ්ජය

අම්මා කෙනෙක් අලුයමින්
පිබිද බලයි වල මත හිද
පෙර පුරුද්ද විලස මෙලෙස
බලන කලට දකියි අවට
ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා

මල් තවම පරව නැති පෙර දිනෙහි වැලලූ වලෙන්
එකෙක් නැගිටියි ඈනුමක් හරිමින්
දෙඇස් පිසිමින් කඩයි නිදිගැට
ඒ අපේ උන්දෑ නොවැ!
රෑන ගිරා ජෝඩුවයි හාද වෙලා ආදරෙයි

තවත් වලකින් එකෙක් නැගිටියි
‘පස්සට පස්සට යමු යමු පස්සට’
ගමේ බසේ කොන්දොස්තර ඇවිත් වගේ කල් තියාම.
කවදාවත් ඉස්සරහට නොගිය කෙනෙක් නොවැ උන්දෑ.

හානේ අර එන්නෙ කවුද?
තවත් වලක් මතින් නැගිට සිංදුවකුත් කට ගාගෙන
දැකල පුරුදු නාකි සුද්දෙක්
පුරුතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා

වේල් දමා මල් ගවසා පුයර උලා හැඩ වීලා
රොමියෝ ජුලියට් වාගේ අත් පටලා මේ එන්නේ
අලුත බැදපු ජෝඩුවක්ද?
ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි

වල මත හිද හති අරිමින්
විලංගු අත්, පාද යදම්
කදුළු ගෑස් ජල පහරින්
සකල රිදුම් පිරිමදිමින්
මේ එන්නේ තරුණ සිසුන්
කපා කපා කෑලි කපා අප වලකනු සිතනු එපා

පුංචි එකෙක් වල මත හිද
ගීයක් මුමුණයි තනියම
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී
වැඩිය කඩන නරක ලමයි හෙම නොවේ අපි
අපට එහෙම කියා දීල
සේරම ගෙඩි උන් කඩාන
කන්න නැතුව හාමතේම
මැරිල ගිහින් උන්ගෙ පවට

කවුද බොලේ අර එන්නේ?
සුදට සුදේ උසට උසේ
සුදු කබාය සුදු කලිසම රතු ටයි එක
සිංදුවකුත් මුමුණ මුමුණ
අපෙ ගුරුතුමා තාමත් යයි ඉස්කෝලේ
අනේ දෙයියනේ!
අපේ ගමේ ප්‍රින්සිපල් නෙ
එයත් නැගිට වල මත හිද
‘මේ ළමයි කවුරුත් යන්නෑ කොහෙවත්
සද්ද නොකර ඉන්න ඕනෙ’
තරවටුවත් සමග සැවොම නිසොල්මනේ සැතපෙනවා
නැවත වලේ සදා කල්ම

ඉපිද මැරේ යලි ඉපදේ නොතිර සසර සාගරේ
View Poem