රණසිංහ ආරච්චිගේ විල්සන් හෑගොඩ නම් වූ කවියා

මාලපල්ලේ කුමුදු අමරසිංහ
මාලපල්ලේ කුමුදු අමරසිංහ
2021-September

රණසිංහ ආරච්චිගේ විල්සන් හෑගොඩ නම් වූ කවියා
මාලපල්ලේ කුමුදු අමරසිංහ දුටු වගයි…

(සැප්තැම්බර් මස 13 වන දිනට යෙදෙන 37 වන අනුස්මරණය වෙනුවෙනි )

තුඩ-තුඩ නම රැදෙන බටුවන්තුඩා වේ
බලකොටුවකට නම ගිය පුර ඉසව් වේ
“හින්නි-අගිඩ” හිරු-සඳු මව්-පියන් වේ
ඉපැදුණු පුත් කුමරු ගැන කවි සුරල් වේ

රණසිහ ආරච්චිගේ යන වාස ගමි න්
හින්නි අප්පුහාමි ද හෑගොඩට දෙමි න්
අගිඩ හාමිනේ රජපක්ෂයට වෙමි න්
ඉපැදුණු කුමරු “විල්සන් හෑගොඩ”වෙ නමි න්

පියදස්-ධර්මදස් දෙදෙනා සහෝද ර
මාලිනි විය නමින් පියකරු සෙනෙහෙබ ර
හැදුණේ එගම් පියසේ විය පබාක ර
අහිමි ව ගියා ඔහු පියතුම අවාක ර

ඉන්පසු ඉගිල්ලුණි පුරවරයෙන් ගා ලූ
මව් – නැගනිය – සහෝදර සමඟින් යා ලූ
ඇවිදින් කොළොම්තොට දැක හදවත නෑ ලූ
මෝදර වුණා පියසක යට වූ පා ලූ

සිටියදි ගාල්ලේ මෙතොදිස් සිප් මැදු රේ
ඉංගිරිසිය උගත්තේ “කජු කන” පැදු රේ
රජ අබිසෙක පුරයි මුල් හෙළකම වැති රේ
මෝදර “අනන්දය” විය පසු කල මිතු රේ

මෝදර පිටිය අත හැර ආ පිටියක ට
“කොල්ලු” කියා තවමත් කියැවෙයි ඊ ට
තද-බද ගතිය තිබුණත් එතැනින් එපි ට
ගියෙ නැහැ හිටියෙ එතැන ම සන්තෝසය ට

බොදුදම සාහිතය හෙළ වියකරණෙ වැ දී
සිරිසෙන් පියදස්ස පි.බි. අල්විස් එ මැ දී
තරගෙට-උරට-උර කරට ම කර ම දි දී
ලියු කවි ගණන් හැදුමට මගෙ දැණුම ම දී

“කොළිල හටන” මුල “කඩුපුල්” ගැන විත්තී
“අම්බපාලි” කව් පොත් පිළිබඳ සිත් තී
ජය ලද තෑගි ලෙස රූ-පෙට්ටිය බුක් තී
වින්දයි එ ද දිවියෙ ලද මැණිකකි මුක් තී

සේයා රූ – කරණ මුදලක වැඩි අග ය
ගත්තැයි එ දවසේ කළ නොහැකි ව මඟ ය
එනමුදු බැඳී ආරක්ෂක බල ඇණි ය
මඟ පෙන්නුවේ මැතිඳුට දී අනුමැති ය

රට-රටවල ඇවිද ස්කොට්ලන්තෙ පවා
බෙල්ජියමෙදිත් දක්වා හැකියාව හුවා
නම ගත් පිට-පිට ම සම්මානයෙන් දොවා
අවුරුදු පහ පුරාවට හැ‌මෙකෙකු ම දවා

එකදස් නමසියේ තිස් හය වන වරු සේ
පෑ දස්කමට ලද රූ – පෙට්ටිය අස් සේ
සැඟවී තිබුණු උපතින් ලද හුරු ඔස් සේ
ඔපමට්ටම් කළා තව දුරටත් දස් සේ

එකදස් නමසියේ තිස් අට වැනි කාලේ
යුක්තිය පසිඳලන්නට බැඳුණයි රාළේ
සේවය දරුණු මැරවර මිනිමරු දෑලේ
ගෙවුණැයි රූප ගන්නට පොලිසියෙ තාලේ

එකදස් නමසියේ හැට සිට – හැට පහ ට
එක-දෙක-තුනට ලද සම්මානෙට ඔහු ට
හැත්තෑ හය “එපික්” – හැත්තෑ හත උස ට
ලැබුණේ “බෙල්ජියමෙ” සම්මානෙත් රස ට

“සී.අයි.ඩී.”යෙ නම ගත් රූප – ශිල්පියා
මොහු විය කැන්දා ගන්නේ වැඩ – කාරයා
අවැසිය පරිද්දෙන් නුවණට හැඩ ය – තියා
කෙරුවයි යුද්ධ රූ නැඟුමට වැඩ ය – කියා

කෑම – බීම දෙක – එක රජකාරි ය
යෑම – ඊම ලොකු-ලොක්කන්ගෙ බාර ය
තාන – මාන නොතැකුව මොහු සාර ය
වාස – දේස “පොලිසිය” නැමැති පාර ය

තිස් පස් වසර නියුතු ව පොලිසියට වැදී
අස්-පස් කරන්නට මංකොල්ලයක සැදී
“හාරලක්සෙ” මගෙ මතකෙට ගෙනත් දිදී
අමුණන්නට සිතුණි තව-තව සුරල් පැදී

“වයිට් හවුස්” මංකොල්ලේ දෙවැනි ඇතී
“හාරලක්සෙට” ම වාගෙයි හිතට තැතී
“ඝාතන රැල්ලකට” මුල පිරු සමයෙ කැතී
කොපමණ රූප ගත්තෙ ද හිතකවත් නැතී

“ආසියාවෙ රිදි සීනුව” කියූ එදා
සහසිකයෙකුගෙ වෙඩි පහරට බිළි වි නිදා
මරු ගෙන ගියෙන් “සොලමන් රිජ්වේ” දිවි දා
සදහට නිහඬ කළෙ “සීනුවෙ” නද සිඳ දා

ඒ “මිනිමැරුම” සහසුද්දෙන් ගළපන් න
සහයයි දුන්නෙ විල්සන් හෑගොඩ දන් න
රූ ගත කරන අටියෙන් ඡායා ගොන් න
ගත්තේ පොලිසියේ අවැසියට ම මැන් න

විල්පත්තුවේ තව “මිනි මැරුමක්” වූ යේ
සිත් ගිනි තබා “ඇඩ්ලින් දිවි” නිම වූ යේ
අසරණ වුණේ දරු-දැරුයන් ම ය දා යේ
“විතරණ” නො එන මඟ සැදුවන් නැත ආ යේ

කොයි “මිනි මැරුමටත්” නැතුව ම බැරි කෝණ
විල්සන් හෑගොඩගෙ “කැමරා නෙත්” මාණ
සැඟවුණු රහස් මතුකොට රත් ගඟ පීන
ගත් විරු නුඹ ය අප’තර නොපෙනී – පේන

රටකට වැඩැ’ති පුතෙකුගෙ දෑත ම ගන් න
“නන්දාවතිය ජයවර්ධන” සිත දුන් න
“රූබසිංහ” පරපුරෙ නම – ගම ඉන් න
හිටිය ද වෙන කෙනෙක් හැර ඔහු ගැන දන් න

එක – දස් නමසියේ හතළිස් පස් වස ර
එක – ලස් කරවමින් දෙහිතක පෙම් පව ර
දියතොස් කරන්නට සුදු-මුදු මල් තම ර
පිය – වස්සානෙ කළතා අසිරිය සම ර

ගිහි දිවි ගෙවන හෑගොඩ කවියගෙ පිරි ය
පිපි මල් හදෙහි පීදී කැකුළක සිරි ය
නිති දැල් වුණා එසවූ දිවි ජය කොඩි ය
සකි සඳ කියමු පීදුණු මල් කෙමි පැණි ය

පාලිත – නාලිනී – සිරිමති – ප්‍රදී පා
ලාල් – අනුර කවි මඟ ගත් සැදී පා
පියතුම ගිය මඟ ම ගති පුතු දිදී පා
ගුරුකම – හුරුකමට ගෙන කව් නදී පා

කිව යුතු දෙයකි වෙසෙසින් පුතු දෙදෙනකු ගේ
“ලාල්-අනුර සංයෝගය” දැනෙන අ ගේ
කවියට එහා ගිය යුග්මය “දෙඅත්” ව ගේ
නම ඉහළින් තබයි අදටත් යමින් ම ගේ

මුදලට ගන්න බැරි සහතික පසෙක තබා
සොඳුරු කලාවට අත-හිත දෙනු ව පබා
කැළණි පුරවරයෙ මහ සරසවි‌යෙ සබා
ගුරු පරපුරට ඇදුණැයි හැඳ නැණැසෙ කබා

බුදු බණ අසා බුදු චරිතය හැ`දින ගෙන
හුදු ජීවිතය කටුක ය නැත සුවය දෙන
මුදුකම් තිබූ මුත් දිවි දුර මඟක වෙන
රුදු බව කාට කිව හැකි වෙ ද ගමන මැන

සියොළඟ නැඟුණු දුක් ගිනි හද කොණක දමා
සිය දූ-පුතුන් පිය සොඳුරිය අතැර දමා
කව්-ගී ලියූ සොහොයුරු-සොයුරියන් දමා
කිම ඔබ ගියේ කව් පරපුර මඟ දි දමා

කස – කස ඔළුව – තැන – තැන කිව් සිවු පැදි ය
වස – වස කියා හංවඩු ගැසු හෙළ කවි ය
රස – බස අනා අගනුවරින් දුන් සවි ය
අත – කස එක් පියකු විල්සන් හෑගොඩ ය

පීටර් පෙරේරා – අල්විස් පි. බී. හා
කපිල සෙනෙවිරත්න ද ටිජි ඩබ්ලිව් සිල් වා
කුඩලිගමත් – අල්විස් ආතර් දෙන් නා
හෑගොඩ සමග අතකස කවි මල් හැදු වා

පියදස් සිරිසෙන් නොසිටියෙ නම් මිතුරේ
විල්සන් කවියෙකුත් නැහැ එහෙනම් මිහිරේ
පීටර් පෙරේරා සමගින් කවි පොකුරේ
“අමුර්තයක දහරා” කවි පද විසිරේ

ඇගිලි සලකුණ ද ඔපයට කලාව ට
ඇවිලි යන්න ගෙන ආ රූ රටාව ට
“විදිලි කෙටිය” ගෙන මොහු කැමරා ඇස ට
රිදිලි දුනි හොරුන් හා මිනිමරුවන් ට

මුදල් – හදල් ගැන නොතකා හැබෑව ට
නොමිලේ ඉගැන්නුවෙ ශිල්පය මනාව ට
සිසු ශිල්පියන් ශිල්පිනියන් වසගය ට
ගත්තේ හෑගොඩයි තම කැමරා ඇස ට

දැය දරුවන් හිටිය කවියට කලාව ට
ඔබ දැනුමෙන් බිඳක් ගන්නට හොරාව ට
උහුගේ මනදොළට බිඳකුදු මුලාව ට
ඉඩ නොතබමින් දුන් දරුකැළ මනාව ට

“අතසක” කවි මඩුව ඔබ නැති දිනේ පටන්
“විරසක” වෙලා හිටිය ලු පණ ගැනෙන තුරන්
කවියෙන් – කවිය අරගෙන නුඹ කරපු සටන්
සවිමත් වී තිබේ “අතසක” සුගුණ දමින්

කවියට වුව ද කැප පදවැල් එමට තිබේ
කඩුව ද මුගුරු- කිනිසිය පද තුළට එබේ
තැන-නොතැන ද ඇවැසි තැන නුඹ කුමට ගැබේ
පාවී ගියෙ ද මුදු සුළඟක් විලස ඉබේ

කිම මේ කවි සබාවට නැතිවා ද සිතක්
විම-සිලි වුණෙමි කිසිවකු දුටුවා ද වතක්
නිම කර නොමැති කොපමණ දෑ වේ ද මතක්
ගිම-නෙක සිසිල් පොද වී සැලුවෙ ද සුසුමක්

සරසවි සිප් බිමේ ලක් දරුවන් සොය න
කෝ අද පොලිසියට සේවය ඇවැසි වෙ න
සිප ගන්නට වතාවක් පිය සෙනෙහෙ දෙ න
දරුකැළ සොයයි විල්සන් හෑගොඩ ගෙ පණ

සුසුමෙක උණුසුමේ සැඟ වුණු ඔබෙ නාමේ
විමසුමකට සිතුණි මට කවියෙන් පේමේ
දැක නැති වුව ද පුතු ඇසුරෙහි සිත පෑහේ
ඔබ රුව දැක – අසමි හඬ “අනුරුව” සෑහේ!

මාලපල්ලේ කුමුදු අමරසිංහ වන මවිසින් විල්සන් හෑගොඩ
නම් වූ කවියා පිළිබඳ සුගැයූ “කවි කුමුද” ඔහුගේ නාමයට ම
උපහාරයක් ම වේවා!