ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රට රැකියා සොයා අම්ම එතෙර ගියා

රට රැකියා සොයා අම්ම එතෙර ගියා

මංගලා රත්නායක - වැලිමඩ
2024-May

වහලය හිල් වෙලා වැස්සට ගේ තෙමිලා
කටුමැටි බිත්තියද දියවී ගෙන බැහැලා
දෙන්නට දෙයක් නැහැ දරුවන් හට උයලා
වෙන පිළියමක් නැත කිම කරනුද කියලා

අගහිග කම් නිසා රන් කහවණු සොයලා
දැනුනා වේදනා නිම කර යුතු කියලා
දූ දරුවනුත් නිවසේ තනියම තියලා
මා පිට උනා ඉරණම මේ යැයි හිතලා

පහසුය කියා හිතුවට මෙහි ඇති කාරී
පුතුගේ හාමු දියණිය හරි වද බාරී
අසනීපයක් හැදුනත් අප අත නාරී
මැසවිලි නගා නම් ඉන්නට බැහැ බේරී

වරද සුළු උවත් සුළු දමාවි ගෙලද සිඳ
සමහර දාට ලැබුනේ නෑ අපට කැඳ
මතකයෙ තබා ගෙන නිතරම පැතුම් බිඳ
ගත විය දෙවසරක් හැම දුක් ගැහැට මැඳ

අමනාපයක් සිත තුල නැත දළුලන්නේ
දාරක සෙනේහය නිතරම මතුවෙන්නේ
යම් දවසකදි මව්ගුණ සිහියට ගන්නේ
එදිනට පුතේ හැකිනං සහයක් දෙන්නේ….

Photo credit; Tima Miroshnichenko