ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රක්වා නෙ පීදුණු තලමල

රක්වා නෙ පීදුණු තලමල

ගංගා ජීවනී - වැලිවත්ත කොළඹ
2023-November

රක්වා නෙ පීදුණු තලමල
මිලින වී
වසරකුත් ගෙවුනාට
මට තාම අද ඊයෙ වගෙමයි..

පිච්ච මල් තවමත් ම පුසුඹ යි
මගෙ හිසේ නුඹගෙ සුරතින් ම
හැඩකල….
තැබූ ඒ කුංකුම පොට්ටු ව
සම්මතය නොවුනාට
අදත් මගෙ ආත්මෙම ආසයි
රක්වාන කෝවිලේ තනිවෙන්න
ඔබේ සුවඳත් එක්ක

දර්ශන්…..!
නුඹ,
රක්වානෙ බිඳුණු තල් රුක!!

සිල් ගත්තු බවලත්තු
සුපිරිසිදු බලවත් තු
කවුරු දැයි මට හොඳින් කියා දී
කොහොම නුඹ
මා සුරක්ෂා කලැයි
පුදුමයි…
ආදරෙන්
මාව
රක්ෂාකළ තරම දන්නෙත්
නුඹ යි.

සිල් රැක්කෙ නම් නෑ
ඇත්තමයි
මං ගත්තෙ
ආදරේ විතරමයි…
ඔබ දුන්න
ආදරේ විතරමයි

ආදරේ කලේ අපි
ඇත්තටම… .
තාමත්
කඳුළු වියලෙන්නෙ නැති
සුසුම් සුළිසුළං ඇති
සබරගමු කඳුයාය රකින ඒ රහසත්
අපෙ තමයි

සතුට පිරි සෙනෙහෙ රැඳි
ඔබේ පපුතුරේ යළි
සැනහෙන්න මගේ හැඟුමන්
හැමදාම ඉකිගසයි
රත්තරං
යළිත් නුඹ නොඑන බව දැනදැනත්
තුංග කළු සිරුරට
ආත්මයෙන් බැඳුණු ඔබෙ චෙල්ලම්
යනෙන හැම මග තොටම
නුඹේ සෙවනැලි සොයයි…

තාමත්
මිදුනෙ නැති කඳුළු සයුරක
මිදුනු
ඔබේ චෙල්ලම්
හැම රෑම ඔබ නැති ව
නින්දක් සොයයි…

දර්ශන්…
ඒ ඔබේ ආදරේ
මෙතරම් ම මෙතෙකැයි
හැමදාම මට මෙසේ
දැනෙන්නෙ ත් ඒකයි….

2023.10.20
ගංගා ජීවනී වැලිවත්ත..