ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යුද බිමේ වරුණාව

යුද බිමේ වරුණාව

මහාචාර්ය සරත් විජේසුරිය
2024-July

උපන් බිම – හැදුන බිම
හැර දමා දුරින් දුරුවී සිටින
යස ඉසුරු ඇතිව සිටි බලවතුන්
විසූ මහ මැදුරුවල නටඹුන්ය
නෙත් රිදෙනතුරු දුටුවෙ
ඒ රම්‍ය භූමියේ …….!!!!!

හිස් සිඳුන දනන් සේ තල් ගස් ය
මගේ හද පෑරුවේ!

විරාමය විඳින සඳ
තරු පැළඳි නිල ඇඳුම
දවස අග එක රැයක,
සැහැල්ලුව මිතුරු සඳ සමීපේ
මධු විතක් තොලගාන
තරු පිරුණ අහස යට
සවනතේ දැවටුනේ
රණ බිමේ වේදනා – දුක් සුසුම් – අදෝනා

ලේ ගලන්නට කලින් රට පුරා
නෑ සියන් පිරිවරා වන්දනාවේ
ගියෙමු අපි නාගදීපේ.

ලේ ගලන්නට කලින් රට පුරා
භූගෝල විද්‍යාව ඉගැන්වූ ගුරුතුමා
සිය තුරුණු සිසු පිරිස
කැටුව ගිය චාරිකාවක් විය
යාපනේ.

කරදියයි මිරිදියයි සමගියෙන් වෙන්ව සිටි
මහ පොකුණෙ
කීරමලේ.

විස්මයෙන් – සොම්නසින් තුටු වුණේ,
දකුණෙ සිට ගිය අප ය.

භවබෝග අස්වැන්න
මොන තරම් සරු ද පස.

අනේ අර මහ මැදුරු
දුටු දසුන් සුන්දරය
හදවතේ ඇඳුණි බිතු සිතුවමට.

නොතේරුණි දොඩන බස
දැනුණි ලෙන්ගතුකම් එමට
මතක පොත රසවත්ය යාපනේ.

“වරෙන් සිරි නරඹන්න පෙරහැරේ,
මා එක්ක නැවතිලා
දළදාත් වැඳ පුදාගෙන යන්න”.

හිරැස්සගල පිහිටි උස් ම කඳු මුදුනක ය
මනරම් ය.
මිතුරු සඳ වසන ඒ මන්දිරය.

පළමු දින, දෙවන දින ගත වුනා.
යාපනේ මතක පොත පෙරළුණා තෙවෙනි දින.

නිදි නොමැති දිගු රැයක තනි වුණා.

සඳ එළිය මුදුව ගලනා රැයේ
සොරෙකු සේ ඇවිද්දෙමි මිතුරිඳුගෙ මන්දිරේ.

විවර කළ විට දොරක්,
නැඟුණි හඬ කෝවිලක වැයෙන බෙර….!

සඳ එළිය දකින්නට විවර කරනා විටදි,
ජනෙල් පත.

නැඟුවේය කෙඳිරියක්……!

නෙතට කඳුලක් නැඟුණි
හද රිදුනි .

දැනෙනවා තවම ඒ රිදවීම.