මේ අපේ අම්මා තමයි……

සුගත් අමරසිංහ
සුගත් අමරසිංහ
2021-November

මහරගමින් නැගී බසයේ
සෙනග අතරේ තෙරපිගෙන
සුප් බෝතලේ කැඳ බෝතලේ
සීරුවටම අල්ලාගෙන
බහින්නේ බසයෙන් එලියට
කොන්දොස්තර කෑ ගැහුවම

“බහින්න පිළිකා රෝහල ……
බහින්න පිළිකා රෝහල….”

වාට්ටු බිත්තියට උඩින්
ඇස්දෙක වටපිට හරවා
මම එනතුරු වාට්ටුවට
බලාගෙනම ඉන්නා විට
රිදුම් දෙනවා ඇති ගෙල වට

ඈතින් මම දකිනා විට
හිනාව ඈගේ කට කොනකින්
හැමදාමත් මම ආවම
අම්මගේ සුපුරුදු කතාව

” පොඩි පුතා ගිහින් අහන් එන්න
කරුණා මිසී ගෙන්
අද දොස්තර මගේ ලෙඩේ ගැන
කිව්වේ මොනවාද කියලා……”

මාත් ඉතින් යන්න යනවා
වාට්ටුවේ කෙළවරටම
කරුණා මිසී ඉන්න තැනට
ගිහින් අහල කතා කරලා
සුබදේ විතරක් කියනවා
අම්මගේ හිත සතුටු වෙන්න

අම්මගේ නහයෙන් දමාපු
බටය කොනේ පුනීලයට
කැඳ ටික ටික වත් කර කර
රසක් ගුණක් නොම දැනගෙන
අම්මගේ බඩ පිරෙන සතුට
දැනුනා මටත් හිත පුරාම

කරුණා මිසි ළඟටම විත්
අම්මගේ ඔලුවත් අත ගා
බය වෙන්නට දෙයක් නෑනේ
කියල හිනාවක් පානවා
ඒ කාලේ ඉදන්ම අපි
කරුණා මිසි දන්න හින්දා
අම්මා ගැන හොයලා බලා
වැඩි සැලකිල්ලක් පානවා

වාට්ටුවේ සීනු හඬට
අම්මගේ ඇස අග කඳුලක්
හෙමින් හෙමින් මෝදු වෙනවා
ඒ කඳුලින් මගේ හිතේ
කඳුළු ගඟක් ගලා යනවා

යනවිට අම්මා තනිකර
හෙට හවසට එනවා කියා
වාට්ටුවේ කෙලවර ළඟ
ආපහු හැරිලා බැලුවිට
බිත්ති කන්ඩියට වාරුව
මා යනසැටි බලා ඉන්න
මගේ අම්මා මා දුටුවා
කඳුලින් බොඳ දෑස් තුලින්

ජීවිතයත් කෙටියි කියලා
අම්මා එය දැනගත්තට
දිවියම ජීවත් කරන්න
වෙර දැරුවේ හිත හයියෙන්

අප තනිකර අම්මා ගොස්
වසර දෙකක් ගෙවුණු වෙලේ
අම්මා සිහි කරමින් අප
අම්මා සිටි වාට්ටුවට
දනක් බෙදන්නට ගිය වෙලේ
වාට්ටුවත් පාළු වෙලා
කරුණා මිසිත් පේන්න නෑ
කව්දෝ කියනවා ඇහුනා
අපේ අම්මා ගිය දිහාට
කරුණා මිසිත් ගිහින් කියලා