ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මැජික් බිත්තර

මැජික් බිත්තර

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
2024-June

අත්තම්මගේ උයන ගෙදර
හරි කැමතියි ඉන්නට මම
හිල් වුණු වහලෙන් ගෙයි බිම
හැඩවෙනවා දුකේ බැරුව

දහවල මෙන් උදේ යසට
ඉර පායා හිනැහෙන කොට
වහලේ හිල් වලින් වැටෙන
බිත්තර ඇත ගොම ගෑ බිම

අත පානා විට ඔසවා
අල්ලට බිත්තර එනවා
කකුල් දෙකෙන් පෑගුවාට
බිඳෙන්නෙ නම් නෑ ඒවා

මේ බලන්න මැජික් කියා
මං මල්ලිව රවටනවා
උඩින් වැටෙන බිත්තරයක්
දෙන්න කියා මොරදෙනවා

“බොරු නොකියා ඉන්ට කිව්වේ
පොඩි එකාව අඬවනවා”

එහෙම කියා අත්තම්මා
හොරැහින් මට ඔරවනවා
ඇස් වහගෙන මැටි කොරහේ
දහයියා කුඩු උඩ ඉඳගෙන
බිජු රකිනා කළු කිකිළී
කෙකර ග ගා හිනැහෙනවා