මාවතේ නැගණියගෙ කිරුළ

සෞම්‍ය ලලිත් කළුබෝවිල - අනුරාධපුර
සෞම්‍ය ලලිත් කළුබෝවිල - අනුරාධපුර
2021-November

සීත හිරිකඩ හිත අවුස්සන
පාළු අළුයම ..

නීල තුරු රැඳි පිණි කඩාගෙන
මුව දොවාගෙන..

පාන ඔච්චන් රිළා හඬ මැඩ
යාලු කරගෙන..
සඳ කිණිත්තෙන් මග ඇමඳගෙන..

කිව්වාට ඵල නැතත් හුරුවට
සංහිඳේ ⁣දෙවියනුත් බැහැදැක
සෙයිලමේ වනයේ සරන්නී..
රෑන අතහැර හීලැ මුවදෙණ..

පාරෙ අලි සෙල්ලම් උදෑසන
පාන ඇලයාපත්තුවේ ගම.
උන්ව හීලෑ කරන තරමට
මිහිරි අලි මන්තරෙයි කටහඬ

හීන කද බැඳ දරු වඩාගෙන
පාරෙ ඉටි රෙද්දක ගෙයක් බැඳ
කාල දුම්රොටු වත තවරගෙන…

ගයන ගී කවුරුත් අහනවද
පාරෙ වාහන තාල දෙනවද?
දෑස් අඩවන් කර සොයන්නේ
නෑර ඉමි” කියු කෲර හිමි ම ද?

පාර ජම්බුල කිරණ සුවම ද?
ඝෝර විෂ සපු යාලුවෝම ද?
චූටි දෝණිගෙ ලැම කොනිත්තන
මාර පුත්තරයන් නොදුටුවෙද?

කරඹ මල් සුදු දතේ රැඳුනට
“කහට ” , හිත පපුතුරෙත් නැතුවා..
පුතුට පිංකැට ඉබේ පිරුනට
නුඹේ ලංසුව ඇහෙන් කියනා…

පාට තඹ වරලසට හිමිකම
ඈත පර සුද්දෙකුට පවරන..
නුඹේ හිස රැඳි කටු ඔටුන්නම
චූටි දුවටත් පළඳවනවද?