මගේ පුතු ලෙඩ වෙළා

නාලිනී කොඩිකාර - නුගේගොඩ (ග්‍රන්ථ කර්තෘ - චිත්‍ර ශිල්පිණී)
නාලිනී කොඩිකාර - නුගේගොඩ (ග්‍රන්ථ කර්තෘ - චිත්‍ර ශිල්පිණී)
2021-March

කිරි සිනා දත් මැදින් – කිරි සිනා මතු උනා
බිළිඳු අත් පා මොලොක් – නටා ගී ගායනා
මුළු මැදුර සුන්දරයි – පුතුගෙ හඬ විසිරෙනා
සඳ වටා දැවටෙනා – තරු එළිය ඔප වුණා
හිමි සඳුත් මා පුතුත් – මගේ ලෝකය වුණා

නොසිතනා මොහොතකදි
කිසිත් නොසිතූ ලෙසින්
මගේ පුතු ලෙඩ වුණා

අරින්නකො මගෙ පුතේ – ඔය නීල දිගු දෑස
නටන්නකො මෑත් කොට – ඔබෙ සුමුදු පොඩි දෑත
එතෙන්නකො කර වටා – පවසමින් මුදු බාස
කිම පුතේ සිටින්නේ – නොසෙල් වී මගෙ මැණික

කෙසේ ඇදහිය හැකිද – සිදුව ඇති මේ විපත
කර තියා නිසල කඳ – වෙදුන් සැමතැන සොයත
මග දිගේ දිව ගියා – වගුරමින් කඳුළු කැට
මිනිස් ලොව දෙවි කෙනෙක් – සැනසීය මගේ සිත

නැඟණියනි, යනු මැනවි
ඡේතවන අරම වෙත
මහ වෙදාණෝ සිටිති
ලොව ම සුවපත් කරන
නොදොඩනා, නොසෙල්වෙන
මගේ පුතු ඇමතුවෙමි –

” පුතේ හනි හනික
මහ වෙදා හමු උනා”
“බිය නොවන් මගෙ පුතේ
ඔබව සුවපත් කරයි
මහ වෙදාණෝ නිසැක”

විශ්මයකි … විශ්මයකි
රන් රුවක් සේ දිලෙන
මදහසින් වැඩ සිටින
කරුණාව ගලා යන
පුරා සඳ සේ දිලෙන
මහ තෙදැති සුපින්වත්
මහා මුණි වැඩ සිටිත
පිරිවරා මහ සඟන

පුතුගෙ නිසසල සිරුර –
දිගු කළෙමි ඔහු වෙතට
වහා සුව කළ මැනව
දුන මැනව ජීවිතය
හඬා වැටුනෙමි මෙමා – හිමි දෙපා මුල නිසල

නැගිටින්න නැඟණියෙනි;
සුව කරමි නිසැකවම
ගෙන එන්න අබ මිටක් –
නොමළ කුල ගෙයින් ලද

අදිටනින් සිත දැරූ – අබ සොයා ගියෙමි මම

කොතෙක් අබ ලැබූවද –
නොමළ ගෙයකින් මිටක්?
කෙසේ නම් හමු වේද –
නොමළ එක ගෙයක් වත්?

ලොව සියලු දනන් හට
උරුම වූ ඒ දහම
උරුම වේ ඒ ලෙසම
මපුතු හට නිසැකව ම

වැටහුනිය සියලු දෙය
සැමට උරුම වු දහම
හැරපියෙමි නිසල කය
සමිඳ ඔබ වේ සරණ

පුතු නොලද මුත් ඔසුව
දම් අමා දිව ඔසුව
භවය සුවපත් කරන
හිමියනේ ලදිමි මම

(සතුට දන් දෙමි කාව්‍ය සංග්‍රහය 2018)