පියාඹා ගිය වස්තුව..

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ
වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ
2021-May

එලිවෙන උදේ අඳුරට ඔහු සොඳුරු   වත
මුසුවෙන හැටි දුටිමි සිට දොර පඩිය මත
ඉර මොන තැන උනත් කළුවර පිරුණි හිත
හිස්වුන මහත් ලෝකය නැවතිලා      ඇත

හැඳි ගෑරුප්පු පත පොත පිරි මළු    තුනක
කදිමට ඇහුරුණා ඔහු රෙදි පිළි නොයෙක
රැඳි කලමණා අතරේ ඉඩ ඇති      තැනක
බැඳි මවු පෙම ද අසුරා තැබුවෙමි අනෙක

දණ බිම ගසා මා වැඳ සමුගත්     නැකත
කණ අගුළුත් වැටී  ඝනඳුරු  විය      දසත
ගෙන දෝතින් බදා හිස සිපගත් මොහොත
පණ ටික දියවි දියවී ගැලුවා        දෙනෙත

සීයට දෙසීයක් මව් යුතුකම්     සපිරී
ආයිත් ඉතිං මා ළඟ මොනවද ඉතිරී
යායුතු ගමන යන්නට ඔබ සතු  දහිරී
ඕනෑ තරම් ඇති බව දන්නෙමි පැතිරී

වෙන්වී ගියත් මගෙ අත්තටු යටින්       මිදී
පියඹා යනු රිසිව ඉහලට ඉහල          ඇදී
දල්වා දෑස් මග ඉමි ආදරෙන්           බැඳී
සෙනෙහේ තියෙයි හදවත නැවතුනත් රැඳී

April / 2021