
විසල් හදක කවි – පාලම උඩ
පේරාදෙණියට වශී වී
එහිම වයසට ගිය මට
තිබුනේ තේමා තුනක් පමණි
කවි ලියන්න-
හන්තාන
සරසවිය
මහවැලිය
හත් දොහක් පුරා ඇදහළෙන
අනෝරා වැස්සට
මහවැලිය ගලයි දෙගොඩ තළා
මොර සූරන වැස්සේ
අපි හිටියා
පාලම උඩ ගඟ බලන්න
“අද නං ගඟ හරිම ලස්සණයි”
“පනිමු ද?” ඔබ ඇසුවා
“පිස්සු ද” මා ඇසුවා
එදා වගේ ම අදත්
ගඟ ගලයි දෙගොඩ තළා
මම තනිව ම පාලම උඩ
සිතමින්
පනින්න ද?
අදත් ඔබ සිටිය නං
මගෙන් අසාවි
පිස්සු ද?