පන්හිඳක කඳුලක්

එස් එල් සෙනෙහෙධීර,  ලෙච්වර්ත්
එස් එල් සෙනෙහෙධීර, ලෙච්වර්ත්
2021-October

නොපා සඟවා හදේ ගිනිදැල් ලෙවන් සැනසූ කිවිඳියේ ගජමන්

සැපා ලැබගෙන උරා රතිරස ඉවත ලූ නුඹ මුදලි කෝ සුපසන්

කපා ගෙන ගෙල නුඹම සියතින් නික්ම ගියදා සදහටම මෙලොවින්

දෙපා කඳුලින් දොවා සමුදුන් ජෝන් ඩොයිලි මමයි විරහ දුකින්

එදා කරතොට සමිඳු සෙවනත කොලුවෙසක් ගෙන ශිල්ප ලද විලසේ

සදා සැඟවී නොසිටියේ ඇයි සළෙලු ඇලපාතගේ දෑසින් මිදී නුඹ රහසේ

වදා දරුවන් සතර දෙනෙකුත් පතිඳු මියැදුණු ලඳක වෙත රිසිසේ

හදා නෙක කවි හතර පද ඔහු එවා රවටා බැඳුණි රස පහසේ

ලබා නුඹගෙන් නිබඳ කම්සැප දිනෙක මතු නුඹ අතැර යනු රිසියෙන්

සබා මැදවුව නුඹෙන් ලද සැප වනා ඔච්චම් කළා ඔහු නිතියෙන්

නොබා නිති නුඹ ලඟට ආවත් කවිය අවියක් විලස ගෙන රඟමින්

සොබාවකි ඇලපාත මුදලිගෙ හඹාගොස් රැවටීම නිති අඟනුන්

මුදා ගන්නයි නුඹව ඔහුගෙන් දෙවා තනතුරු කළේ පිටමං සිවුරුහළ දවසේ

එදා මානුඹ වෙතට පෑපෙම අත්හළේ ඇයි අහෝ පා යට තණපතක් විලසේ

නොදා නුඹ සා ගින්දරේ කවි උල්පතත් රැක වෙසෙන්නට සුවසේ

සදා මට බහ දෙන්න තිබුණා හිඳින්නට පුන් සඳක් සේ අහසේ

වෙලා අසරණ පතා පිහිටක් ලියා මාවෙත එවූ නුඹගේ සතර පද කවියක්

බලා වාවනු බැරි නිසයි මම නුඹේ නමටම ලියාදුන්නේ විසල් ගම්වරයක්

කලාවට කවි හපන් වූමුත් ගැහැණියකි නුඹ සලෙලෙකුට වූ ගොදුරක්

පෙලා මාහද දවයි ඇසෙනා කලට නුඹ ලියු කවි අදත් නෙතට දී කඳුළක්