![](https://londonkavi.com/wp-content/uploads/2023/11/tianshu-liu-khQY5Eu-aa0-unsplash-scaled.jpg)
නොගොසින් එන්ට බැරි බවයි.
දෙවෙන්දොරා නොරිකො ඔබ
පමණක්මද අත් දුටුවේ
ලොව පවතිනවයි කියනා
යෑමයි ඊමයි.
ඒ විතරද,
නොගොසින් එන්ට බැරි බවයි.
නෑවිත් යන්ට බැරි බවයි.
සත්තකින්ම ලොවැ ඇත්තේ යෑමක් හා ඊමක් මැයි,
ප්රභවය හා කෙළවර’තුර
යෑම් කොතෙක්දැයි නොදනිමු,
ඊම් කොතෙක්දැයි නොදනිමු,
අනේකවිධ සමාගම් ද
සම්පයෝග විප්පයෝග ලෙන්ගතුකම් සන්තාපද
මහ සයුරේ දිය බිඳු මෙන්
වැලි කතරක දූවිලි මෙන්
ගණනක් මිම්මක් නැතුවා,
හිතා ගන්න බැරි තරමින්
දෙවෙන්දොරා නොරිකො සං, නොකිව්වාට අපි දන්නවා
කවුද කියා දුන්නේ මෙහෙම
මගේ අමා මෑණියන්ගේ
බණ ඇහුවනේ එක දවසක,
මෙහෙම නේද කියලා දුන්නේ
ඇත්ත කියන්නකො නොරිකො,
ඇත්ත නේද දෙවෙන්දොරා.
යෑම හොඳයි, ගොස් ඊම ත් ඊට හොඳයි
ඔව්! ඔබ හරි
ලොවැ ඇත්තේ මේ දෙකම නේ
නොගොසින් එන්ට බැහැනේ
නෑවිත් යන්ට බැහැනේ
අපි හැමෝම එනවා.
අපි හැමෝම යනවා.
කවදා කොතැනකදී හෝ නැවතීමක් වෙනවා.
එදාට,
සැනසුම් සුසුමක් ලබන්න
සතුටු උදානය විඳින්න
ඔබත් එතැන නැතුවා
මමත් එතැන නැතුවා.