ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිහැඬියාව​

නිහැඬියාව​

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව
2024-June

මහ පොළව දෙදරවන
පරිසරය කලඹවන
මහා හඬක් ඇසී මම
අවදි වුනෙමි තැතිගෙන

කෙසේ බිහි වුනි ද එවන් හඬක්?
භූ කම්පාවක්, සුනාමියක්, කුනාටුවක්!
බ​ඳු සොබා දහමේ විකුර්තියක්
නමුදු එහි නැත මෙවන් බිහිසුණු බවක්

කෙසේ බිහි වුනි ද එවන් හඬක්?
යුද ගිනි මැද විලාපයක්, මහ පිපිරුමක්!
මහ වන මැද කොටි, සිංහ ගෙරවුමක්!
නමුදු එහි නැත මෙවන් රුදුරු බවක්

කෙසේ බිහි වුනි ද එවන් හඬක්?
කෑ මොර දෙන දේශපාලන වේදිකාවක්!
චන්ද පොරොන්දුවක්, හතුරු ගැරහුමක්!
නමුදු එහි නැත මෙවන් නිවට බවක්

අසාධාරණය, අයුක්තිය, අනීතිය
අබියස නැගෙන්නේ ඒ මහා හඬ මය
හැම තැන හැම විට එකම හඬ නිරතුරුව​
ඒ මිහිකත නුහුලන සුදනන් ගේ නිහැඬියාව​