නැතිඋන කසාය සීට්ටුව

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
2021-September

“ඔහෙ ඇති උනක් නෑ”
මැල්ලුම් ලියලියා හිටිය අත,
කිමෝනාවෙන් පිහපිහ,
පිට අල්ල නලලට තියතිය
“උන බැළුව”
අම්මා තවත් නෑ මා ලග.

“කෝකටත් මේ කොත්තමල්ලි ටික
ගුණ වැඩි උණු උණුවෙ
බොන තරමට”
වෙනිවැල් ගැටත් පදමට,
කළු සීනි ඇබිත්තක් අල්ලට.

වකුටුව නිදන මා අසල
අම්මා තවත් නැතිකොට
ආරෝග්‍යයා පරමා ලාභා
දැනෙනවා
බණ පොතේ නැති තරමට.

ඉහනිකටත් පැහුන,
මගෙ බත් පත
කිරා මැන බල සුද වැහුන
දෑසින.
බාරොන් සිල්වාගේ
සිංහල බෙහෙත් බඩු කඩයට,
මටත් රහසේම යන,
බෙලි පස් පංගුව
කිරාගෙන එන,

දර පෙනෙලි කොට එක්කර,
ලිපට පිඹ පිඹ,
මුට්ටි පොඩියක
තනියම කසායත් සිඳ,
අනුපානෙට මී පැනිත් එක්කොට
බෙලෙක් කෝප්පය
මා අත තබා,
බොනකල්ම
මා අසල කල්මරණ,
තාත්තත් නැතිකොට
ආරෝග්‍යයා පරමා ලාභා
දැනෙනවා
බණ පොතේ නැති තරමට.