යෂිකා විජේසිංහ

2022 පෙබරවාරි කලාපය

දුකට හඬන කඳු

හඬනු හොඳ නැති බව දන්නමුත්
වැලපෙමින් කඳුලැලි සලා
අහසටත් සැනසුම දැනෙන්නැති
හිසේ තිබු බර බිම හෙලා
මහ පොළොව ලෙස අපිත් උන්නට
හැමදේම ගිලගෙන බලා
මහ කඳුත් බිම වැටෙන්නැත්තේ
එහෙව් අපි ගැන කම්පා වෙලා

සමන් දෙවියොත් අහක බැලුවැති
මොහොතකට හිස හරවලා
දොසක් කියලා කුමට දෙවියොත්
අපි වගෙම ඇති අසරණ වෙලා
නිදාගෙන උන් අඹු දරුවො උදුරා
දුරක ගෙනිහින් හංගලා
හැංගුවේ කොතැනකද නොකියම
කන්ද උන්නා බිම වැතිරිලා

සීරුවටමයි අපි අඩිය තිව්වේ
රළු බොරළු පිරි දිවි මගේ
මහ කන්දටයි එය හොඳින් පෙනුනේ
උන් නිසා අපි කඳු පාමුලේ
නිම කරන්නට විඳින දුක් ගඟ
තුරුළු කරගෙන පා සෙනේ
මහ කන්ද වගෙ තවත් කඳු ඇති
මග බලන් උහුලනු බැරි දිනේ

2022.01.09
View Poem