දුකට කියන කවි

මාවැලි කුලතුංග - මහනුවර
මාවැලි කුලතුංග - මහනුවර
2021-November

නිවෙන්නට පෙර පහන් දැල්ලත් හරිම වේගෙන් සැලෙනවා
ප්‍රපාතයකින් වැටෙන්නට පෙර ජල කඳත් පොරබදනවා
බලෙන් මත්වී උඩඟුවූ කල නොකලයුතුදේ කරනවා
මොනතරම් උඩගියත් ඊටත් වඩා වේගෙන් වැටෙනවා!

කොරෝනාවෙන් බැට කකා අපි හුස්ම ඉල්ලා යදිනවා
දවසගානෙම මැරෙන ගනනත් වැඩිවෙවී සිත පෙලනවා
කෑම බීමද ගිනිගනන්වී අපිට ඔච්චම් කරනවා
“ඇද්ද උඹලට, හොඳට ලැබුනද ? සැපද දැන් ? යයි අහනවා

තමන් පමනක් හරිය කියමින් වැරදි පාරෙම දුවනවා
කටක් ඇරියම හොරාටත් පෙර කෙහෙල්කැන වැට පනිනවා
මිනිස් ජීවිත වටින්නැති බව කරන කෙරුමෙන් පෙනෙනවා
දෙවියො තම පය නොතැබු තැන්වල මෝඩයෝ උඩ පනිනවා

නිසි වෙලාවට ගන්ට පියවර නොදැන ලොක්කන් වැනෙනවා
සිප්සතර ලැබගන්ට නොහැකිව ලමාකැළ ඉකිබිඳිනවා
වෙනත් සරණක් නොමැති හින්දා අහස බලමින් යදිනවා
අනේ කොහොමට තිබුනු රටදැයි කියා සුසුමක් හෙලනවා

අපට පමනක් නොවේ ලොවටම කොරෝනා බැට වදිනවා
නමුත් නිසිකල ගන්න පියවර නිසා උන් නම් දිනනවා
නීති හා අණ පනත් ගෙනෙමින් අපේ කටවල් වහනවා
හිතට එන දේ කොහෙ කියන්නද සිපිරිගෙය අත වනනවා !