දිවි මග

කුමරි විජේරත්න - ලන්ඩනය
කුමරි විජේරත්න - ලන්ඩනය
2021-October

කුළුදුල් කැකුළ ලෙස අප පවුලේ සැමට
සැනසුම දුනිමි පෙන්වාලා සිනා කට
ගුණදම් ඇතිව පිපෙනා කුසුමක් ලෙසට
ලස්සන කළා ජීවය ලද පැල අවට

දුව පැන ඇවිද ගමවට තිබු ඉපනැල්ලේ
සමනළයින් පසු පස ගොස් නැළවිල්ලේ
පොඩි සුරතලුන් දක්කාගෙන දූවිල්ලේ
එකොළොස් විය ගෙව්වා මම සැනසිල්ලේ

සරසවි බිමේ ආ ගිය තැන්වල ආයේ
ඒ සුවදමයි මගෙ දිවියට ළන් වුයේ
හදවත පැතූ සෙනෙහසමයි මට පෑයේ
අවුරුදු විසිදෙකේදිය ඔහු මට හමු වුයේ

හෙළ කුල සිරිත පෝරුව හැම අත නෑර
මනමාලියක් වූවා මම හැඩකාර
ලැබ දූ පුතුන් අඩුවක් නැති පින්සාර
තිස්තුන් වියේ විය මම පෙමකට බාර

නව නිපැයුම් ලොකයෙ ඉදිරියට ඇදී
ජීවිතයම මහ ලොකු තරගයක වැදී
වැඩි දුර ඉගනීම නිලතල අතර රැඳී
හතළිස් හතර පිටරටවල ගෙවනලදී

දුක සැප යස අයස ලබමින් හැමදාම
දරුවන් තනන්නට දුක් වින්දා බෝම
දෙමාපියන් ජීවිතයෙන් හැරයාම
පනස් පහත් අමතක කරමිද කෝම

දනට පිනට දෙන්නට අත සරුව ඇත
ක‍ළ පින් වලට හිත පතුලේ සතුට ඇත
හැට හය වියත් හරි සතුටින් ගතව ඇත
පින් පුරවන්න තව කලය ඉතිරි ඇත

ඉපැරණි මිතුරු මිතුරියො නෑ මා අවට
දරු මුණුපුරන් ඉන්නේ ලොව සතර වට
ලෝ දම ගැන සුබවාදිව සිතන කොට
හැත්තෑ හතෙදිත් සතුටම ලැබුනි මට

යුද බිය රෝගබිය සුනාමි ගෙවුන යුගේ
හද සෝසුසුම්, නෙත් අස්සට කදුළු නැගේ
අසූ අටක් ගතවූවත් හෙමින් වගේ
ගත සිත සවිමත්ය තාමත් එදා වගේ

ආපසු හැරී ජීවිතෙ දෙස බලන විට
සතුට පැත්ත බර වැඩි බව දැනෙයි මට
සමුගන්නම් හොද සිතිවිලි ඉතිරි කොට
අවුරුදු අනූනමයක් ගතවුනා මට