දියණියකගේ විලාපය

තුසිතා සුරේකා.මීගමුව
තුසිතා සුරේකා.මීගමුව
2021-September

ඉෂාලිනි අම්මෙ මන් නුඹට මතකද මන්ද
නුඹේ ණය හිලව්වට මාව කෙනෙකුට වික්ක.
මගෙ වැරලි ඇදුම් ටික නුඹම අසුරා දුන්න
මං අරන් යද්දි දුක හිතුනෙ නැද්දෝ මන්ද.

පොඩි මගෙන් නොසෑහෙන වැඩක් උන් අරගත්ත
ඇස් කෙවෙනි රිදෙනකම් නුඹ එතැයි මග බැලුව.
කිසිම දා මට ගමට යන්න බැරි බව දැනුන
ලැයිමෙ පොඩි කාමරේ සුවද නැහැයට දැනුන.

නුඹට මතකද මන්ද සින්න දොරේ ගේ අප්ප
බඩ මහත කොන්ඩෙ අඩු හිනාවෙන්නැති උන්දැ
ඒ වගේ කෙනෙක් මගෙ ලඟට රැයකදි ආව
එදා මහ වැස්සකුත් ගොරව ගොරවා වැස්ස.

ඒ පරලු අත් වලින් මාව මිරිකා ගත්ත
හැම තැනම මගේ ඇග විකල මට වද දුන්න
අත අරින්නට කියල ඉල්ලද්දි කෑ ගහල
උගෙ වියරු වුන කාමෙ මගෙන් සිදවා ගත්ත.

නොතේරෙන ගොඩක් දේ කරන්නට මට වුනා.
කෑ ගහල අඩල මන් යන්න දෙන්නට කිව්ව.
බංගලාවේ නෝන මාව ආයෙත් වික්ක
ගින්නෙ පිච්චෙද්දි ඒ දුක සැපයි මට හිතුන.

සේයලා, විද්‍යාල, උමාදේවිල සැවොම
ඉන්නවා මගේ ලඟ තනිකමට අසලින්ම
නුඹේ ණය ගෙව්ව මම හිතේ කහටක් නැතුව.
අම්මෙ සතුටින් ඉදින් කිසිම පරහක් නැතුව.