2022 ඔක්තෝබර් කලාපය

කොළඹ යුගයේ සිත් ගත් කවි - අකුරට යනවයි කියලා

අකුරට යනවයි කියලා
ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම්

ගිහින් කියල - මේ බැද්දෙදි අල්ලල දෙන්නම්

පඳුරු අස්සෙ කුරුල්ලන්ට
ඔමරි කරනවා විතරයි
සිළිඳු ඉතින් දර කැඩුවද
මමත් කියන්නම්

ගිහින් කියල - පොඩි නැන්දට අල්ලල දෙන්නම්

ඉඳුණු කරඹ ගොඩාරියක්
මගේ ඔඩොක්කුවෙ තියෙනව
ටිකිරි අයියටත් දෝතක්
පුරවල දෙන්නම්

පුරවල දී - තව මදි නම් හිඹුටුත් දෙන්නම්

සිළිඳුට ගීපද කියන්න
කුරුල්ලන්ට මළ තියන්න
ලොකු වුණාම මේ බැද්දෙම
හේන් කොටන්නම්

හේන් කොටල - අපි දෙන්නට පැලක් හදන්නම්

මාළු ඇඹුල් තියල් කරල
පොල් සම්බල් රසට හදල
ඇල් හාලේ බතුත් එක්ක
අනල කවන්නම්

කවන ගමන් - මමත් කවන තරමක් කන්නම්

හැන්දෑවට කහ සුදු රතු
හෙන්දිරික්ක මල් පිපුණම
ඒ ළඟ ගල් පොත්තක් උඩ
වාඩි කරන්නම්

වාඩි කරල - ලඟින් ඉඳන් නළා පිඹින්නම්

ගමේ ළමිස්සියන් එක්ක
විලට ගිහින් පන් උගුලල
රටා පුරල මෝවිටි ලා
පැදුරු වියන්නම්

පැදුරු වියල - ඒකෙ ඉඳන් පංචි දමන්නම්

කළුවර ඇති වැහි දවසක
මහ රෑ ඇඳ ළඟින් ඉඳන්
පල් හොරු ගැන හොල්මන් ගැන
කතා කියන්නම්

කතා කියල - බය ඇරෙන්න විහිළු කරන්නම්
View Poem