මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

2021 ඔක්තෝබර් කලාපය

කොළපතේ අරුමේ

පුවක් ගහෙන් කොළපත වැටෙනා තුරුම
ඉවසිල්ලක් නැතිව අපි සිටියේ කොහොම
පළවෙනි රවුම යන්නට කාටත් පෙරම
අදටත් මතක්වෙනවා පොරබැඳි තරම

සතුටින් ගියත් ගල්කැට ඇති වැලි පාරේ
කොතරම් රිදුම් දුන්නත් අත නම් නෑරේ
ඇදගෙන යන කෙනාටයි ඊළඟ වාරේ
අමතක නොවේ මට කොළපත් සංචාරේ

කොළපත හිල්වෙලා බරු ගැහුනත් ඇඳුම
පසුපස හමගියත් එය නොදැනුන තරම
අඳුරත් වැටෙනතුරු නිම නොමවෙයි කෙරුම
දන්නෝ දනිති කොළපත් ගමනේ අරුම

ඇල්ලේ උඩ ඉඳන් පහලට රූටාන
හැල්මේ ගියා බය දැනුනේ නැති ගාන
ඉඳහිට පෙරළිලා වැටුනත් මඩ ගාන
කවුරුත් සිනාසී හිටියා ඉවසාන

කොස්කොළ ඔටුන්නක් දා රජවුනු ගාන
ගොක්කොළ ඔරලෝසුවත් අත පටලාන
කූරටියා දුන්න උරකින් එල්ලාන
කොළපත අරා ගියෙ රණ හඬ පතුරාන

කොළපත් වාහනයෙ නැග ලොකුකම් පාන
පොඩිවුන් එදත් හිටියා අණ පතුරාන
කොළපත ඉරුනුපසු කෙළි වෙයි අවසාන
අත්තක් වැටෙනතුරු යලි බැලුවා මාන

පොඟවා පදම්කර "බත් ගෙඩි" බඳින්නට
කිරි දරු පැටව් නාවන කල හොවන්නට
"වාං පතුල්" ලෙස ගොවි පය රකින්නට
කොළපත තමා හිටියේ ලඟ උදව්වට

සොබාවික දෙයක අගයක් නොම දන්නෝ
අරුමෝසම් ලොවක පාවී වැනසෙන්නෝ
අතීතයේ විසිතුරු විඳි අපි වැන්නෝ
මනසින් එවන් අසිරිය දැක සැනසෙන්නෝ

සොබාදම් මවගෙ සුව බර තුරුල්ලේ
ළමා කාළයම ගෙවුනා නිදැල්ලේ
ආයෙත් යන්ට හැකිනම් මේ ඇසිල්ලේ
සැක නැහැ සිත් සතන් සතුටින් ඉපිල්ලේ

09.06.2021
(ඦායාරූප අනුග්‍රහය නිමල් අබේසිංහ මහතා)
View Poem