ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK

2023 ජනවාරි කලාපය

කිරි මුහුද බොරවූ දින

පෙන කැටි නංවමින් හැඩවුණු කිරි මුහුද
රළු වී චණ්ඩ වී බොරවීලා කිමද
දියබිඳු සිසිල විඳි පා පෙරදා සවස
නැහැ අද වාරු නුඹ කල හදියක මහත

ඈතින් නැගෙන රල බියකරු හඬක් ගෙන
සුවිසැ ල් අවන්හල වෙත එන විලාසෙන
සී සී කඩ ගියා කැවු බත් අතින් ගෙන
දිව්ව්වෙමි අතට අසුවූ අත අල්ලගෙන

ලද මොහොතකින් මා නෙත් දෙක අයාගෙන
බැලුවෙමි දසත ඈ කොහිදැයි හොයාගෙන
නිසලව හිඳින උන් දැක සිත දවාලන
සිතුවෙමි පියා සමගයි නෙතු පිහාගෙන

සිහිනෙන් මෙන් ඇසුණු කෙඳිරිලි හඬ මැද්දේ
සෙව්වෙමි තැනින් තැන නිසසල අය මැද්දේ
නෙතු දිව ගියා රෝහල් කාමර මැද්දේ
මගේ සිහි විකල්වුනි විලාපයන් මැද්දේ

ඇය නැත දකින්නට ගිනිදැල් හද පත්ලේ
බුර බුර නැගේ, නෙත් දියවෙයි උණු කඳුලේ
හීයක් ඇනුන සේමය මගේ හද පතුලේ
අවසන හැඳින ගත්තෙමි තිදෙනෙකු පවුලේ

සන්සුන් නොමැති සිත ඇ ය කොහි දැයි සොයති
පොඩි දරුවෙක්ද ? සමහරු දුටු බව කියති
අක්ක කෝ අතේ නොදරුවා හඬ නගති
ඒ රුව දකින්නට මගේ නෙත් දෙක හඬති

දසතින් ලැබුණු නොයෙකුත් තොරතුරු වලට
අප දිව ගියා ඇ ය සොයමින් හැම අතට
සිතමින් කිම සුමුදු අතැඟිලී මගෙ අතට
හිර නොවුනේ එදා, අසුවුනිදෝ රළට

සුදු රැලි ගවුම කෙහෙරැලි පිළිවෙලට දමා
සිහිවෙයි නුඹ මාව කඳුලැලි විලක දමා
නැහැ ලිප ගින්දරක් හද ගින්දරම තමා
කවදා නුඹ එයිද දන්නේ දෙවියෝ තමා

කාලය පියඹුවා දහඅට වසරක්ම
නුඹ සිහිවුනා මට හැම තත්පරයකම
සිහිනෙක හෝ වෙලී අප හා සැමදාම
ඉන්නට පතමි මගේ නෙතු පියවෙනතුරුම
View Poem