නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය

2021 මාර්තු කලාපය

කැපුවේ කැලෑවයි .. නැතිවුනෙ අපේ ලොවයි

කන්දෙක බිහිරි කරවයි ඩෝසර් සද්දේ
ගස්වැල් කඩන් වැටෙනවනේ මහ බැද්දේ
නැතිවද කැක්කුමක් මිනිසුනි හද මැද්දේ
අම්මට ඇහෙනවද මම අඬනා සද්දේ

කැලයේ තිබුන ගස්වැල් ඇද වැටෙන කොට
හැංගෙන්නට තැනක් තිබුනේ නැහැ අපට
මම එල්ලිගෙන ඇය ගහකින් පනිනකොට
කරුමෙට ඇද වැටුනෙ ලී ඉරනා තැනට

අම්මගේ බෙල්ල කැපුනා ලොකු කියතකට
ගැලුවා ලේ ගඟක් බෙල්ලෙන් තද රතට
ඇය හැඬුවේ මා දෙස බලමින් දුකට
මම බයවෙලා හිටියේ අසරණකමට

අම්මා මියගියා නෑ ආපසු එන්නේ
නැතිවද මිනිස්සුනි මගේ දුක තේරෙන්නේ
පැය ගණනක් හැඬුවා මම බඩගින්නේ
කවුරුද ඉතින් මින්පසු මට කිරි දෙන්නේ

මේවැනි දුකක් වෙන කාටත් වෙන්න එපා
මිනිසුනි අපෙ කැලය කපලා දමනු එපා
අම්මා යළි එයිද ආදර සෙනෙහෙ පපා
මෙය හීනයක් මිස ඇත්තක් වෙන්න එපා

08. 02. 2021
View Poem