
කටේ හයිය
කොණ්ඩය මා නොබැන්දාට
පිච්ච මලේ සුද ගැහුණට
හිසකෙස් හිස පිරිල තියෙනවා…
පාට – පාට නොදැම්මාට
දිගු වරලස කොට කලාට
මගෙ ලස්සන තව ම තියෙනවා…!
උපැස් යුවල පැළඳුවාට
මං කලිසං නොඇන්දාට
ගවුමට තව ලස්සන වෙනවා…
අඩි උස මිරිවැඩි ඇන්දට
වත්සුණු මං නොගෑවාට
ලස්සන මගෙ නොමැකි තියෙනවා…!
දෑත – දෙපා වෙව්ලුවාට
වේගය මගෙ අඩු වුණාට
පත – පොත ගැන හුඟක් දන්නවා…
ඇස කඳුළෙන් බොඳ වුණාට
අතැඟිලි අවනත නූනට
මුතු ඇට වගෙ අකුරු ලියවෙනවා
වයස අසූ පහ පැන්නට
ගත හැම රැළි – රැලි ගැහුනට
ඇඟේ පාට තවම තියෙනවා
කන ඇහෙන්නෙ නැති වුනාට
වැටි – වැටි එහෙ මෙහෙ ගියාට
කටේ හයිය හොඳට තියෙනවා …..
මගෙ කටේ හයිය හොඳට තියෙනවා