
ඒත් නුඹ හිත හදනවා…
වරු ගණන් නිදි – නොවිඳ රකිනා
නෙක ගිලන් හිත් අතර මැද්දක
නුඹ ගිලන් උන දිනක තනිවම – නුඹ උන්න හැටි දන්නවා …
බෙහෙත් වඩියක් අතට දෙන්නට ,
ගිලන් වූ හිත පිරිමදින්නට
මට නොහැකි බව දන්නවා
ඒත් නුඹ හිත හදනවා …
සොඳුරු හැඩ තල රටා අතරින්
නේකවිද හැඟුමන් විඳින්නට …
සීත හිරිකඩ වැටෙන යාමේක
නුඹේ සුසුමක එතී යන්නට ..
දෙකම්මුල් පිස – යනෙන හුළඟක
දැනෙන නැහැඹුල් සුව විඳින්නට
මට නොහැකි බව දන්නවා
ඒත් නුඹ හිත හදනවා …
විඩාබර නෙත සෙනෙහෙ පුරවන්
මගේ රුව – ඈතින් ඇඳෙන තුරු
එදා වාගෙම , අදත් නුඹෙ නෙතු
තාම පෙර මග බලනවා …
නුඹේ රිදුමන් මට කියන්නට ,
දකින හීනෙක හැඩ මවන්නට
වරු ගනන් නුඹ බලං හිටියත්
මට නොහැකි බව දන්නවා
ඒත් නුඹ හිත හදනවා …
මගේ හිත්ඉම රිදුනු හැමවර
ලොවට රහසින් ඉකිබිඳින්නට – උන්ට රහසින් ගතු කියන්නට
නුඹේ උරහිස තියෙනවා …
සිනහමල් දෝතින් වරාගෙන ,
සෝ සුසුම් ගැඹුරෙම තියාගෙන
නමුණුකුල මහ කන්ද තරමට
නුඹත් ලතැවුල් දරනවා …
ඒත් මයෙ හිත හදනවා …