
එවන් දේශය
එවන් දේශය
(වත්මන් සිරි ලක, සිරි දැක, ඛලීල් ජිබ්රාන් සිහිවී)
කුමට දේශය?
දෘෂ්ඨි දැඩි වුව, නොමැති භක්තිය.
කුමට දේශය?
නොරට සහලින් පිස බුදින බත,
පොරව ගෙන සළු අනුන් ගෙන් ලද.
කුමට දේශය?
පුදන මැරවර,
පසසමින් සොර දෙටුන් නිල ලද.
කුමට දේශය?
හඩ නගනු නැති,
අවමගුල් පෙරහර තුලින් මිස.
කුමට දේශය?
ඔද වඩනු බැරි,
පොරණ දන නටඹුන් තුලින් හැර.
කුමට දේශය?
නිදන මර නිදි,
තබන තුරු දංගෙඩිය මත හිස.
කුමට දේශය?
පඩි වරුන් පිරි,
වෙළද සල තුල නුවන මිල කළ.
කුමට දේශය?
මුණි වරුන් ලද,
ඇවැසි නැති තැන රකින මුණි වත.