රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2022 අප්‍රේල් කලාපය

එවන් ඉසියුම් මොහොතක් අපට අහිමි ද?

ඉතින් අප...
කවදා හමුවෙමුද?
මේ විසල් අහස යට
මේ ඉමක් නැති පොළොව මත
ඉකි ගසා වැලපෙන සයුරු තෙරක
දූවිලි කුණාටු ඉගිලෙන කාස්ටක මුඩු බිමක
එසේ නැතිනම්
කලබලකාරී නගරයක් මැද
මල් උයන් හිමි නැති බැවින්
කොතැන වුව කම් නැත
ගිලී යන්නට
සෙනෙහසේ විල් තෙර
ගැඹුරුතම අගාධයක.

ඔබ අසල සිටින විට
මට මා නොදැනෙනු ඇත.

වසර ගණනක් පුරා තවමත්
ලියා නිම කල නොහැකි වූ
පෙම් කව.
නිම කරමුව අප
එහි අන්තිමම පද.
දෙඅතක රැඳී වෙහෙසව
විඩාවූ හදවතට
සියුම් ලලාසාවක් රැගෙන
ඉතින් හනිකට එනු මැන.

අප දෙනුවරක බව නොදැන
කොතෙක් නම් මල් පිපුණිද?
මනලෝල ගීත ඇසුනිද?
මත් බිඟුන් හා විහඟුන් ගැයූ
උන්ගේම තනු වලට.
කොතෙක් රළ රැළි හැඬුවේද
ඔබ මා පියසටහන් නොදැක වෙරළක.
තව බොහෝ කල් නැත අපට
අපේම හැඟුමකට වෙන් කරනට.

සොය සොයා අහුමුළු
හදවතේ ගැඹුරත
මෙතෙක් කිසිවෙක් ඇස නොගැටුණු
මං පෙත් වල
ඇවිදගෙන යමු අප
අතැඟිලි පටලාගෙන.

එවන් ඉසියුම් මොහොතක්
කිසිවෙකුට හිමි නොවනු ඇත
ඔබට මට හැර.
View Poem