අරුණ ශ්‍රී එදිරිසිංහ පන්නිපිටිය

2021 මාර්තු කලාපය

එක පන්තියෙ අපි

ගමේ ගොඩේ අහල පහළ දිවි ගමනෙදි අපි
නෑදෑකම් ඇයි හොඳයිය ලං කරගත් අපි
නැතිබැරි කම් අග හිඟ කම් පිරිවැරුවත් අපි
බෙදා හදාගෙන සතුටින් කඳුළු බිව්ව අපි

ඉරිසියාව තරහ මරහ තිබු පුහුදුන් අපි
පෝයදාට පන්සලේදි බණ පද ඇසු අපි
ජීවිතයේ අනියත බව දහමෙන් දුටු අපි
හිනහ වෙලා එකිනෙකාට උදව් වුනා අපි

වෙල් නියරේ ඉපනැල්ලේ පලා නෙළුව අපි
කැලේ තිබුණු බටු තිබ්බොටු නෙළා ගත්ත අපි
තුඹ කරවිල බටු කරවිල තිත්ත නොදුටු අපි
ජීවිතයේ පැණි රස තැන් සොයා ගියා අපි

හේනෙ කුඹුරෙ අත්කම් වැඩ ඇඟට දැනුනු අපි
තනි අයිතියෙ පොදු අයිතිය රසය වින්ද අපි
එකිනෙකාව එකිනෙකාට නැතිවම බැරි අපි
පොල් අතු වහලේ සමගිය හෙවිල්ලුවා අපි

යල මහ කන්නට සීතල සළුව ඇන්ද අපි
තුන් හීයට පොද වැස්සේ නඟුලෙ රැදුන අපි
බන්ඩි ගොයම කිරි වැදෙනා සිහින දුටුව අපි
ගොයම් කොලේ වී බිස්සේ කාටුව විඳි අපි

ඇළේ දොළේ ගංගාවේ වැව් සිහිලේ අපි
දිය දහරේ පෙණ බුබුලේ තාල දුටුව අපි
මිහිරියාව ගී පදවල නිදන් කෙරුව අපි
නව පරපුර සිහින ලොවින් එළියට ගත් අපි

අපේ කාලේ තිබූ පැතුම් දැන් නොදකින අපි
රුපියල් සත මිරිඟු දියට රැවටුනෙ නැති අපි
හරි දේ හරියට දකිනා අයත් සමඟ අපි
වැල යන පැති සොයා මැස්ස ගැහැව්වෙ නැති අපි

නින්දාවෙන් අවමානෙන් උපහාසෙන් අපි
සැලුනේ නෑ සැලෙන්නෙ නෑ එහෙම තමයි අපි
දනින් වැටී ජිවිතයෙන් සමුගැන්නැති අපි
මරණය ජීවත් කරවා උරුමෙ රකින අපි

ලොබ කමත් මසුරු කමත් පදම දුටුව අපි
අද ඇති අය හෙට නැති අය වෙනස දුටුව අපි
දෙන්න ඕන දේ දුන්නේ ගන්න නෙමෙයි අපි
මිය යන විට සියල්ල හැරදා යන්නෙත් අපි

යන්න ඕන තැන පඩිපෙළ දිගේ නගින අපි
නගින බහින හැම දෙනාට අත දෙනවා අපි
පහළ ඉහළ කොහි සිටියත් මිනිසුන් නේ අපි
අමතක නොකරන්න සබඳ එක පංතියෙ අපි
View Poem