එකෝමත් එක කලෙක

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම  
මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම  
2021-October

සීත ලන්ඩන් නුවර
සියවසකටත් ලඟයි දැන්
ඔක්ස්ෆර්ඩ් වීදියේ සක්මන් කොට
යූස්ටන් හන්දියේ
පාර පනින්ට බලන් ඉන්න කොට
කවුදෝ අතවැනුවා එහා පැත්තේ
පැන ගන්න බැරිවුණා අනිත් පැත්තට
ගඟක් වගේ ගලන වාහන පෝලිම
රසල්ස්ක්වෙයා උමං දුම්රිය පොළේ
බලා හිටියා  පැය ගණනක්
නුඹ බැස ඒදැයි
විහිදාගෙන රන්වන් කෙස් කළඹ
නුඹෙ ගමේ ඇල්ප්ස් කන්දේ
හිමවගේ සුදෝසුදු
සිනා වෙන් මුව සරසාගෙන
ඇත්තට ම එදානම්  නුඹ ආවා
කොහේ ද අපි  ගියේ
හරියට ම මතකයි
ක්වීන් මේරි රෝස උයනේ
ට්රැෆල්ගා ස්කවෙයා වල
පරෙවියන්ට විලඳ කවා
තේම්ස් ගං ඉවුරේ
හෙවනැල්ලක වාඩිවෙලා
අපි හිටියා පැය ගණනක්
විදිමින් ග‌ඟේ  සුවඳ
ලන්ඩන් ගැලරියට ගියා ඊළඟට
ඔබ කැමති සිත්තරුන්ගේ  නිමැවුම් දෙස  පැය ගණන් බලා සිටියා
වැන් ගෝ ගෙ  සිතුවම්වල කහපාට ට  ඔබ වැඩියෙන් ම කැමතියි
ලෝකෙ තියෙන ලස්සණ  ම පාට
කහපාට බව
කියා දුන්නා ඔබ මට
ඒ වැහි බර දිනක්
එත් නැහැ වැස්සක්
තවත්  කොහේ හරි යමු  අපි
යෝජනා කළා  ඔබ
නැග ගත්ත  ඩබ්ල් ඩෙකර් බස් එකක උඩු මහලට
උඩු මහල  පාලුයි
අපි දෙන්නා විතරයි
ඔබේ දෑතේ සිතල
තවමත්  මා සිරුර හිරිවැ‌ටෙයි
ඒත්  මට පෙනුණා
නොබැලු වත් මා කෙළින්
ඔබේ දැසේ
ගල්වුණ කඳුළු  බින්දු
ලන්ඩන් සීතලේ
දවසටම නොකෑවත් කිසිවක්
ඔබට බඩගිනි  නැහැ කීව
මටත් එහෙමයි
වික්ටෝරියා දුම්රිය පොළේදි
අපි සමුගත්තා
මහාද්වීපික දුම්රියට  ඔබ නංවා
වචනයක් වත් නොදොඩා
වේදිකාවේ ඈතට පියමං කර
මා බලා සිටියා
උදය ප්‍රශාන්ත මැද්දේගම
ඔබ  ගිලගත්  දුම්රිය
හෙමින් ඇදී යන හැටි