ඌරුවරිගේ වන්නිලාඇත්තෝ කී කවිය

කලාභුශන කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් කේ සරත් විමලසිරි
කලාභුශන කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් කේ සරත් විමලසිරි
2021-October

සහයෙට ගත් දොහේ සිට ඇඹෙණිය කැකුලී
කුලයට පණ දෙමින් සිටි පතිනිය මුකුලී
අවරට ගිය සඳක් සේ මැකුණිද මිහිලී
හනිකට ඉපදියන් දෙවු විමනක සුරලී

වරිගෙට නොකළ කිසි අවැඩක් මැණික පනේ
චරිතෙට උඹේ ගරු කළ ගහ වැලද අනේ
කොටයට පිලේ විත් කොළ අතු රැගෙන වනේ
තරඟෙට ඇඹෙරෙමින් කඳු ලැලි සලනු පෙනේ

දඩයම්කොරන් ආ වන පොජ්ජෙන් සතෙකු
කිසියම් දෙයක් නොකියා පිස දුන් කෙනෙකු
පෙරයම් දිනෙක මං ගච්චපු මා නොදැකු
කළයම් අඩුව පපු පොජ්ජේ ඇත නොමැකු

වැවු මංකඩෙන් නාගෙන දිය පිරුණු දොලින්
කවු රුත් නොවේ ඔබ දුන් හී කෙටිය මුලින්
ගවු රවයෙන් රැගෙන ගිය වන ගැබට කලින්
මැවු ඒ මතක පුච්චයි පපු සුසුම් දැලින්

මගෙ දෙයියො කියා මා ලෙඩ වුණු දාට
ඇගෙ පතෙ අමාරුව නැතිවෙන තුරු ඊට
තිගෙ සප්පායමෙන් වද නොමදී කාට
නැගෙ හිත් පොජ්ජේ කල දෑ තුන් තිස් රෑට

පැල් කොටයේ තැන තැන හැළි වළං බිදී
වැල් මී පොජ්ජෙ පැනි නෑ කට්ටටම සිදී
පිල් කඩ පුරා කොල අතු කුණු රොඩුද වැදී
හිල් වූ හදුන් පොජ්ජෙන් ලේ කදුළු විදී

ගිණිදා රෑ පුරා පැල පිල හැම දෝම
දිනිදා දකින තුරු අළුයම අඳුරේම
මතුදා මමත් පරලොව යනතුරු මේම
හැමදා දඹානෙම ඉන්නම් තනියෝම