ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉන්දි රාජා කී කතාව…..

ඉන්දි රාජා කී කතාව…..

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
2022-April

කළුවෙලා හදිසියෙම කන්ද උඩරට අහස
ඇහෙනවා කනින් කන එයට මුල්වූ රහස
නිමවෙලා තේජසින් ලැබුව දළඳා පහස
නැවතිලා “නැඳුන් “හද ළඟදි දවසක හවස

හෙටත් නැග කඳු මතින් ගෙවා ගෙන දුර කතර
යළිත් එන බව කියා ගියේ මෙවරත් ගෙදර
මතක් වී හිත හඬයි දෑලෙ ගිය හැටි නිතර
මටත් දුක නොකියාම වුනු එකයි නුඹ නතර

මගදෙපස නෙතු ගැටුනු අසිරිමත් වූ ලොවක
පින අහිමි අප හැමට යදම් බැඳි ඇත් හලක
තතු කියන හැම වසක නිකිනි මාසේ දිනක
යළි උදා නොවනු ඇත වැටී රැස් නම් ඉරක

පෙළහරට විස්මිතම පෝය නම් තව පහයි
වඩමවන හිමි සමිඳු පැවරිලා හිස බරයි
ඔබ නොමැති පෙරහරක කලඑළිය නම් අඩුයි
මට හැකිද පුරවන්න බියක් විත් සිත පෙළයි