ඉගිල ආ පසු දශක දෙකකින්

අනුර හෑගොඩ
අනුර හෑගොඩ
2021-September

ඉගිල යද්දී තිබුණේ ද මට
ඉගිල එද්දී දැනෙන සෙනෙහස
නෙරළු අරඹේ ගෑවි නොගෑවී
දකින මේ බිම නොවෙද මව් බිම
අහිමි වී ගොස් කාලෙකට පෙර
නැතත් ලියවිලි අයිතියට එහි
විදේශිකයෙකු ලෙසින් ආවත්
කඳුළු නවතනු බැරිය දැන් මට

උතුර දකුණට වෙනසකුත් නැති
නෙල්ලිඅඩි හන්දියේ නැවතුමේ
බැස බලමි හාත්පසෙහි අසිරිය
අහා සිත තුල දැනෙන රිද්මය

වහර වියැකී මියැදෙමින් තිබු
දිව අගට ගෙන මිහිරි මව්බස
වීල් සගයෙක් හා පියෑඹුවෙ
මිහිරි අමිහිරි දිවි අඩවියට

මෙන්න මෙතැනයි මා කිවූ තැන
කෝ මෙතන තිබු පැරණි කෝවිල
දිගැසි කමලනි එබෙන තල්වැට

කෝ එදා පොඩි වැහි බීරමට
දිය ගලා ගිය වහල තල්අතු

කෝ තිබුණු දුම්කොළ ගැසූ වල
අම්මා මා සඟවා තැබූ තැන
ට්‍රක් මරණයේ හඬ ඇසුණු සැණ
හුස්ම ගන්නට බටය දී මුව

කෝ තිබුණ අල්ලපු ගෙදර අද
කෙළිදෙලෙන් රස සිනාකැන් පිරි
පුතුන් දෙදෙනා රැගෙන යද්දී
සිටිය මව සිහිසුන්ව වැතිරිව

කෝ පත්මනාදන් තම්බි
වචනයක්වත් කතා නොකරණ
පන්ති අන්තිම පේළියේ සග
අම්ම අප්පා මියෑදී ගොස්
දුක බෙදූ මිත්තනිය සමඟින්

කෝ අර අම්මලා අක්කලා
ඇඳි වතින් හඬ හඬා දිව ගිය
නොඑන ට්‍රක් රතයෙන් ගැලූ ලේ
කඳුළු බිඳු මග පැටලි පැටලී

ඉගිල එද්දී දැනුණු සෙනෙහස
කඳුළු නවතනු බැරිය දැන් මට