රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2022 ඔක්තෝබර් කලාපය

අවසනට පෙර...

දඟකාරකම් උතුරා හැලෙන
සුළං රොදකට අවනතව
වෙරළ තීරයක අභිමුව
පියාඹන ලිහිණියකි තනිවම.

හුදෙකලාවූ හිතකට
ගෙනාවෙන් මල් මදහාස
මංමුලාව හසරක් නොදැන
ඈත ක්ෂිතිජය දෙස බලාගෙන
රිදුණු බිඳුණු පියපත් පිරිමදින.

විඩාවෙන් කම්පිතව නැගූ
ශෝකාලාපයෙන් හැඟුම්බරව
දයාවෙන් පෑ උරහිස මත
රැඳුන ලුණු රසැති සලකුණු
කිසිවෙකුත් නොදකිනු ඇත.

බොහෝ ඍතූන් පසුකර
තවත් එක් ගිම්හානයේ දවසක
සාද සාමීචි කතා නොමැති මොහොතක
සුසුම් රැල් මදක් තත්පරව
ගිලිහී ඇදේ ගව් ගණන් දුර.

නැවතී සිටිය නොහැකිය
කාලයේ යාත්‍රිකයන්ය සැම දෙන
කුමන හෝ අරමුණක් වෙත ඇදෙන.
දුකින්, සතුටින්, පසුතැවිල්ලෙන් හිස්බවකින් හෝ සැනසිල්ලකින් යුතුව.

එහෙත් අවසනට ප්‍රථම
එක මොහොතකට හෝ
ඉසිඹුවක් දිය යුතු නොවෙද
සදා මග බැලූ
නොනිදන තරු දෙනෙතට?
View Poem