රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2023 ජුලි කලාපය

අවතැන් වී ද ප්‍රේමය...

සඳ පිපෙන යාමය
බිඟු රොන් සොයා යන සුයාමය
උණුසුම් දහවලක පවා නොදකින
දෙනෙත් සොයනා කාමය.

උරුවම් නාදයක දැවටුණු
මුදු තුෂර රේණුවක සැඟවුණු
ස්පර්ෂයකින් හෝ
විඳින්නට පේ වුණු
කොහේ හෝ අතරමං වී දෝ
නිල් පාට හීනයක,
ප්‍රේමයේ මං සලකුණු.

වෙරලත ගල් පරයක
අනන්ත සාගරයක් මැද
සහස් තරු යායක
කඳු වලල්ලක සෙවනැල්ලක
වලා වියනක හෝ වහං ව
රහසේම රැඳුනි ද?

නිල කඩා හැලෙන තුරු ගොමු වල
දඟර ගැසී එතුණු පහුරක කොනක
ගිලිහුනු සමනල් තටුවකට හෝ වැද
පවනැල්ලකට මුසුව
දුර ඉඳන් එනවද?
තවමත්...තවමත් තත්පරව
දෙනෙත් මග බලයි ඉවසිල්ලක් නැතිව.

රුදුරු ගති ඉවසුවා ...ඉවසුවා...
ඉතින් හොඳටෝම ඇති
හිතකට වුනත් දැනෙනවා හති
වයන්නට නොහැකි නම් මේ ඍති
දුරින් හිඳ හෝ විඳිනු මැන,
ඒ ඇති.

ඉවසීමෙන් සැනසීම ලැබේ කීවත්
ලැබුණි ද පැතූ සාමය?
සොයාගන්නට නොහැකි ව තාලය
අවතැන් වී ද ප්‍රේමය!!
View Poem