ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

2022 මැයි කලාපය

අරගලයක පෙර නිමිති

හිස කකියනවා ඇඟ වෙව්ලනවා
මහවැසි වසිමින් අකුණු ගසනවා
කවුළු පියන් පත් විගස වසාලමි
නිදන කාමරේ වහලය තෙමුනත්

දරලිප ⁣⁣මොලවා කහට උගුරකට
ගන්න බෙහෙත් ටික වත් ගෙන එන්නට
වෙළඳ සැලට යමි පරිස්සමින්
අනෙකුත් අඩුවැඩි අමතක කරමින්

නිකමට මෙන් මිල ගැන ඇසුවෙමි
මුදල් අතේ නැත එය පියවන්නට
නිමේෂයක් ගතවුනිදෝ මාහට
මුළු මුදලම පියවී ඇත පුදුමෙට

කවුදෝ මා දෙස බලා ඉන්ට ඇත
කිසිදා අනුනට අතපා නැතිමුත්
ඒ අදහස දැන් බොඳවී ගොස් ඇත
හනිකට මා ඉන් පිට වී ආවෙමි

අවිගත් වාහන පිඹගෙන යනවා
දෑසම දවමින් කඳුලැල් වැටුනා
සිහින බොඳ වෙමින් වේදනාව මැද
සාප්පු බැම්මට හේත්තු වුවා
View Poem