
අම්මට කඩදහි කෑල්ලක්
හිර මැදුරු කවුලුවෙන් මහ ගෙදර බලාගෙන…
ලියමි මේ හසුන් පත දෑස් කොන් පියාගෙන…
ජීවිතේ නොදුටු තැන් ලස්සනට කියා දෙන…
ගුරෙක් නැත ඇරෙන්නට කාලයම කියා වෙන…
උගුර කට ලේ රහට හැරෙනකල් ඈගේ…
මයෙ අම්මා එපාමයි කිව්ව මේ දීගේ…
දැන් මටත් පොලඟන්ට වහ කදුරු වාගේ…
ප්රමාදයි දැන් ඉතින් සරණක් ද කාගේ…
පෙන්වමින් මයෙ ඇහැට නොපෙනුණු පලුද්ද…
කී දොහක් වෙන්නැති ද ඈ මට විරුද්ද…
කරුමෙකට මට තිබුනෙ නාහන පුරුද්ද…
දුර ගියා වැඩි වුණා වයසේ වැරැද්ද…
වස් දි දී ඇඬුවාට නැහැ කිසි ම ඵලක්…
පණ දෙන්න බෑ නැවත මැරුණාම මලක්…
නුබට පිං පෑදෙන්න අම්මෙ කප් කෙලක්…
එවාපන් හොඳවැයින් තැල්මකට තෙලක්