සුනිල් එස්. සිරිසේන  - මහනුවර

2021 නොවැම්බර් කලාපය

අමල් බිසෝ

අමල් බිසෝ බැඳ වැට කඩුළු සවිමත් දොර අගුළු දමා
ගියමුත් කුමක්දෝ වෙනසක් පෙනෙනු කිමා
අමල් බිසෝ! මගෙ කවදත් නුඹ ම තමා
දොර ඇරියාද කියපන් තව නොවී පමා

දඬුවැට යළිත් වර පටකින් බඳින්නට
හැකිමුත් සුළඟ බැ රඳවා තබන්නට
අමල් බිසෝ කීවත් පෙර පුරුද්දට
මල් මද බිසෝ දුර ඈතක ගෙයින් පිට

මද සුළඟ සේ ඇවිත්
හෙමි හෙමින් ගෙට වදින
පසුව සැඩ සුළඟ ලෙස
ඇතුළු ගෙය සුන් කරන

සුළඟකට ගෙට එන්න
දොර පියන් හැරියාද
පසිඳුරන් ගොදුරු වන
සිත සසළ කරන විට
නිහඬව ම සිටියාද
සිතෙන් පොර බැදුවාද

සඳ එළිය බිඳින්නට තරු පිපෙන රැය පුරා
ඉගිලෙන්න ආකහේ ඈත කෙළවර කරා
පහන් සිතිවිලි අරං ජීවිතේ සැරි සරා
යළි එන්න බියක් ඇත කටු පඳුරු මතුවෙලා

දොර බිඳින හඬ ඇසේ කවුරුදෝ වරින්වර
සුළං එනවා සැරෙන් සියොලඟම සළිත කර
මා ළගින් වැතිරගෙන නෙතු මදක් විවර කර
නිදි නැතිව හිතනවද කඳුළු වල තියෙන බර
View Poem