ඒ .පී.ඒ. විජයන්ති මාලා අකරවත්ත- මූණමල් දෙණිය

2022 පෙබරවාරි කලාපය

අපේ කිරි අත්තා

උදැල්ල කර තියා අමුඩය ගසාගෙන
ඕවිටෙ බැන්ද ගොන්බානත් ළිහාගෙන
කංකුං මිටක් ඇල මත්තෙන් කඩාගෙන
ගෙදරට ආ අත්තත් හිත වෙළාගෙන

හේන කුඹුර අස්වද්දා ඔහු යසට
අස්වණු ගෙනත් පුරවයි වහළක් උසට
අඟහිඟ නොමැති ඒ පැළ තුළපොඩි අපට
අත්තා කිරිඅම්ම මටනම් ලොකු සතුට

ලද අස්වැසිල්ලෙන් නාගෙන වත්තෙ ඇලෙන්
අමුඩය ළිහා සරමක් ඇඳ අරන් වැලෙන්
අවුලාගෙන සුරුට්ටුව ළඟ පහනෙ සිළෙන්
වැල් ඇඳ උඩ දිගෑදෙයි හිත සතුටෙ ගිලෙන්

පොළ් අතු සෙවිළි කළ කටුමැටි ගෙපැළ තුළ
කිරි අම්මා සමඟ ඔහු හා වෙසෙන කළ
අත්තා පෙන්වුවා නිතරම අපට බල
මහ හස්ථියෙක් මෙනි කැළයක පැළඳු දළ

අත්තා කට්ටඬිය ගම තුළ නම ගත්තා
හොර බොරු වංචාව නම් ඔහු නොම දත්තා
ගමේ දේවාලෙ බාරව කළෙ යුත්තා
සුදුපිරුවට ඇඳන් දුන් සේවය සත්‍තා

පොඩි පැළ ඇතුළෙ වැල් ඇඳ ළඟ මැස්ස උඩ
ට්‍රන්කා පෙට්ටියක් විය එය හරිම හැඩ
අත්තගෙ බලි තොවිල් දන්නා සියළු වැඩ
හරිබරි ගැහී ඒ තුළ ඇත අරන් ඉඩ

කිරිඅම්මා ඇවිත් අත්තව පිළිගන්නා
උණු තේ කෝප්පය ඔහු අතටම දෙන්නා
වෙලේ හේනෙ අස්වණු ගැන විමසන්නා
පිළිතුරු දෙන්න තුටුවන ලෙස ඔහු දන්නා

එතැන් පටන් කොට්ටයෙ ඉහ තියාගෙන
කොටලා දුන්න විට හක්කේ ඔබාගෙන
පඩික්කමට උණනා කෙළ හළාගෙන
තේවා කවි පාඩම පොත බලාගෙන

කෙම්මර දාට දේවාලේ තේවෙ කොට
කට්ටකුමන්ජල් සුවඳින් වැදෙයි ගෙට
කිරිබත් කැවුම් රසවත් පල ගෙනෙන කොට
උඩ පැන පැන නටනවා ඔහු අගෙයි මට

මුට්ටි හතක් ලිප මත්තේ ඉතිරෙනවා
පොල්මල අරන් අත්‍තා හිස සොළවනවා
තම්මැට්ටම් දවුල් බෙරහඬපැතිරෙනවා
බණ්ඩර අපුච්චා පුද කෙළියට එනවා

අත්තා මායමෙන් තිරිශූලය ගත්තා
එකපාරට කිහිළි පෙදෙසට ඇනගත්තා
කිළි ඇති උන් යමව් කියලා හිටගත්තා
කවුදෝ ගැහැණියක් හිමිහිට පැන ගත්තා

දේවාලේ තේවෙ කොට ආ දිනකි එද
ගේ තුළ වැල් ඇඳේ වකුටුව හිටිය නිදා
කටුමැටි බිත්තියේ හූණන් හිටිය බදා
දොරකඩ කජුගහේ බස්සෙක් දුන්න නදා

හිරිගඬු පිපෙන ඒ සීතල පාන්දර
කිරිඅම්මා ඇවිත් ඇරලා කුටියෙ දොර
බොලං කියා ඇමතුවෙ හඬ අවදිකර
පිළිතුරු නොමැත අත්තා ගොස් අපව හැර
View Poem