වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක

2022 ජුනි කලාපය

අනේ පරිස්සමෙන්

අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුවද
පෙට්‍රල් ගැනීමට
අබිනික්මන

ප්‍රමුඛත්වය දෙන ලියුමද
පරිස්සමට කලිසමේ
දකුණු සාක්කුවේය

ගෙවෙන කරුමයේ හැටියට
හර්දය වස්තුව වුව විස්වාස නැතිය
ඒ හන්දා කෝකටත් GTN spray එක
කලිසමේ වම් සාක්කුවේය

පැය ගාණක් පෝලිමේ සිට
රුපියල් තුන්දහස් පන්සීයකට
තෙල් පිරවූ සැප පහසු
වාහනය පිටුපසය

" අනේ පරිස්සමෙන්
ඔයාට ඕවා එච්චර පුරුදුත් නෑ "
අනියත බියකින් ඇස් පුරවාගෙන
බලා සිටින මගේ යසෝධරාවන්
නිවසේ දොරකඩය

එනුමුදු
මා
යා යුතුය
වාට්ටුවේ
ජීවිතය අයැදින
දරු පැටවුන්ය
දරුවන් සුවපත් වනතුරු
බියෙන් පසුවන අම්මලාය

මම කන්ථක අසුපිට
නැග ගතිමි
පවනට බදු වේගයෙන්
නොගියත්
හමන මද පවන සැපය...සනීපය
අතරමග
නේරංජනාව පරදන
තෙල් පෝලිම් පසුකරමින්
මම යන්නෙමි
නිවන්නට රෝ දුකින්
පෙලෙන දරු පැටව්
View Poem