නදී ශානිකා මහනුවර

2024 අප්‍රේල් කලාපය

අත්හැරිම

අල්ල ගත්තත් තදින් සිතුවිලි
සතුට ලඟ පිරි සුවහස
වැල්ල පසුකර දුවන රළ මෙනි
සිතට තිබුනද නිදහස
රැයක් උදයක් පවා වෙහෙසී
ලැබුනු තැන් වල මදහස
අනේ නැතිවුන වාර අපමණ
අපි සොයන ඒ සෙනෙහස

දුකක් මෙය නම් සසර ගමනේ
කරුමයකි මේ කැරකෙන
වෙරක් කර මා මගෙම කර ගත්
කයකි ඇස මත රැවටෙන
පසක් කරගත් දෙයක් නොවුනත්
මනස ඇතුලේ දැවටෙන
හුඟක් තැන්වල මුලින් සැනසුන
අගක කඳුලක් ගිණිගෙන

පුරුද්දක් නැති උනත් හද තුල
විඳවනා බව හිතන්න
හුරුකලොත් මේ සිතම දවසක
බොරුව ඇතුලෙන් නිවන්න
වැටහුනොත් අපි ඇත්ත කවදත්
හරිම විදිහට දකින්න
අල්ලගන්නට කලින් මොහොතක්
හිතෙයි හැරිලා බලන්න
View Poem