දෙගං දෑල ගම - ඩබ්.එම්. සිරිවර්ධන - විදුහල්පති - තිත්තවල්කිවුල විදුහල

දෙගං දෑල ගම - ඩබ්.එම්. සිරිවර්ධන - විදුහල්පති - තිත්තවල්කිවුල විදුහල

ගං කොමලියන් යුගලක් ඉඟසුඟ පෙන්නා ඉං ගම්මාරු අතරින් රිංගා යන්නා දං පලු වීර ගෙඩි දිය මත කැර කෙන්නා පං ගස් රඹුක් ගස් කෙහෙරැලි අඹරන්නා සෘං ගාරයක් ගෙන දෙන රස මිහිර ඔතා මං තනි නොතනියට රන්රස කොමල කතා දුං මල ගස යටිං යන විට ඇසෙයි ඉතා කං දෙක නටයි ඒ ගීතයෙ රසය පතා බං නංගියේ නුඹ කොතනද සිටින්නේ සං සුං බසින් පෙම් වරුසා වසින්නේ ටං ටං ගෝන දෙන දියටයි බසින්නේ සිං සිං නෝරු නැටුමට මෙහි වරෙන්නේ වැල්ලේ සලකුණක් ඇත පා තැබූ ලෙස රැල්ලේ වරක් කැරකෙමු අපි දියට බැස තැල්ලේ දිලිසුමට රත්වෙයි මෙමා ඇස කිල්ලේ යන්ට ⁣පර පෙන පිඩු නොවෙද යස ලඳු මැද පැලේ සිට කටු අකුලක් පීරා මුදු දෙපතුල් තබා මුල් අතරින් රූරා සුදු වැලි තලාවේ මැද පොකුණක් හාරා රුදු දිය පිපාසෙට කල පුරවති බේරා හැවන් කපන්නට ඉවුරට එන ලන්දු පවන් සලා වියළා දහඩිය බිංදු සවන් පත් දෙකට සුළඟේ එන සිංදු ලවන් සනසවයි රසයෙන් මන බැන්දු වැස්ස වැටී ඇල දොල පිරෙනා කාලේ බැස්ස ජලේ එක්වී මේ ගං දෑලේ ඉස්ස දංඩි පෙතියන් පීනන ලීලේ රිස්ස යන්ට පලඳිති කුඩුමසු මාලේ අහල සිටින ගැමියන් හට වී යාලූ පහල ඉඳන් ඉහලට පීනති මාලූ සිහල දමිළ තරුනන් සුනිමල් වේලූ නිහල මල කුනක් ළඟ මුත් නැත පාලූ ඍතු භේදයක් ඇතිවන කල ලං වෙන්නා උතුරා ගැලූ මහ ජල කඳ පටු වෙන්නා බිතු සිතුවම් විලස සිටි උන් දුරු වෙන්නා මුතු ඇට වැලි තලා මත රන් පෑ ගන්නා කෙකටිය පඳුරු වට නැළවෙති ඇඟිලි තුඩු නෙක නෙක ලියන් මල් හා දඬු සමව කැඩූ රැක සිට ගලක් මත ගොරහැඩි බසක් දෙඩූ වක නැති මලක් දීපන් මට එයයි අඩූ තරුණන් තරුණියන් ඉර බස යන වේලේ කරුවළ ගලන තෙක් දිය නානා තාලේ වරුවක් දෙකක් බර වැඩ කල ගොවි රාලේ පිරුවට ඇන්දේය උනමින් සරුවාලේ වැල්ල පීරමින් සොයනා මැණික් කැට අල්ල මැද තබා බැලුවා විටින් විට බෙල්ල වටා තදකර රන් චේන් පොට තැල්ල සරසවනු ඇත වාසනාවට කලකට ගලන ගංගා දෙක ඉවුරු තලා විලකට එකතුවී යායට ගිගුම් කලා පලකට නොගත් මුඩුබිම් මත කඳුලු සලා මලකට පූදින්න බැරි රට එකලු කළා තාල තබන පායුග වාසනාවන් මාල බැඳෙන දිගු ගෙල වාසනාවන් ආල වඩන කිදුරිය වාසනාවන් දෑල දෙගං ගම හරි වාසනාවන් Mo/B/Thiththawalkiula Primary School Kotabowa Madagama Bibile SriLanka.
කවිය බලන්න